ඕඝතරණ මාර්ගය දේශනා අංක 06 - සද්ධර්මශ්‍රවණය

ඕඝතරණ මාර්ගය දේශනා අංක 06 - සද්ධර්මශ්‍රවණය
ඕඝතරණ මාර්ගය දේශනා අංක 06 - සද්ධර්මශ්‍රවණය
🪷 දේශකයාණන් වහන්සේ: පූජ්‍ය කොළඹගම ධම්මදීප ස්වාමීන් වහන්සේ
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

ඒ භාග්‍යවත් වු අර්හත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි! මාගේ නමස්කාරය වේවා!

ඉතින් අද දවසේ එහි හයවෙනි දේශනාව තමයි මේ. ඕඝතරණ දහම් සංග්‍රහය යූටියුබ් නාලිකාව ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික බෞද්ධ පින්වත්නි, මේ පින්වතුන් සූදානම් වෙන්නේ අද තවත් එක් ධර්ම දේශනාවක් සමඟින් අපත් සමග එක්වන්නටයි. දේශනා මාලාවේ සිද්ධ කරන හයවෙනි ධර්ම දේශනාව තමයි මේ අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ.

ඉතිං පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි කියන මේ දේශනාවන්හි අපි සිද්ධ කරන්නට යෙදුනේ පින්වතුනි,

  • පළවෙනි දේශනාවේදී මේ දේශනා මාලාව පිළිබඳව හැඳින්වීම.
  • දෙවනි දේශනාවේ දේශනා පෙළගැස්ම පිළිබඳව.
  • තුන්වෙනි, හතරවෙනි දේශනාවන්හි පෙර පින් ඇති බව කියන මාතෘකාව යටතේ ධර්ම දේශනාවන් දෙකක් සිද්ධ කරන්නට යෙදුනා.
  • පස්වෙනි දේශනාව ඔස්සේ කල්‍යාණ මිත්‍රයන් මුණ ගැසීම කියන කාරණාව පිළිබඳව විස්තර කරන්නට යෙදුනා.

මේ ශ්‍රි සද්ධර්මශ්‍රවණය කිරීම අතිශය දුර්ලභයි

එතකොට පෙර පින ප්‍රත්‍ය කරගෙන කල්‍යාණ මිත්‍රයන් හමුවෙන ආකාරය පිළිබඳව මේ පින්වත් ඇත්තන්ට, අපි ඒ පස්වෙනි දේශනාව තුළ විස්තර කරන්න යෙදුනා. එතකොට පෙර පින ප්‍රත්‍ය කරගෙන කල්‍යාණ මිත්‍රයෝ මුණ ගැහෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ සද්ධර්ම ශ්‍රවණය කියන කාරණාව පිළිබඳව අද දේශනාව තුළ මේ පින්වත් ඇත්තොත් එක්ක සාකච්ඡා කරන්නටයි.

පින්වත්නි, ධර්ම ශ්‍රවණය කියන කාරණාව පිළිබඳව ඉතාමත්ම හොඳින් ගැඹුරින් මේ පින්වත් ඇත්තෝ කල්පනා කරන්න ඕනේ. සද්ධම්මසවනං අතිදුල්ලභං මේ ශ්‍රි සද්ධර්මශ්‍රවණය කිරීම අතිශය දුර්ලභයි කියලායි, දේශනා කරන්නේ.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරපු ශ්‍රී සද්ධර්මය

පින්වත්නි, අතිශය දුර්ලභ වූ මේ ශ්‍රී සද්ධර්මය පිළිබඳව, සද්ධර්මයේ තියෙන පළවෙනිම ගුණය පිළිබඳව, අපි හොඳට හිතන්නට ඕනි. කල්පනා කරන්නට ඕනි. ධර්මයේ තියෙන පළවෙනි ගුණය තමයි ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ. පලමු ගුණය තුළින් සඳහන් වෙන්නේ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනාකොට මේ ශ්‍රි සද්ධර්ම දේශනා කරලා තියෙනවා කියන එකයි. පින්වත්නි මනාකොට මේ ධර්මය දේශනා කළා කියන්නේ, මුල මැද අග ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ කාරණා පිළිබඳව මනාකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට ධර්මය දේශනා කරලා තියෙනවා කියන එකයි.

ධර්මයේ තියෙන ඊළඟ ගුණය

ඊට පස්සේ ධර්මයේ තියෙන ඊළඟ ගුණය තමයි සන්දිට්ඨික ගුණය. මොකක් සඳහාද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මුල මැද අග මනා ලෙස දේශනා කළේ තමන් තුළින් මේ ධර්මය දකින්නට. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරපු මේ ශ්‍රී සද්ධර්මය තමන් තුළින් දකින්නට ඕනේ. තම තමන් තුළින් දකින්නට ඕනේ. ආන්න එහෙම තම තමන් තුළින් මේ ශ්‍රී සද්ධර්මය දකිනකොටයි පින්වතුනි, පිළිවෙලින් අපි ආර්ය අෂ්ඨාංගික මාර්ගය කරා පැමිණිලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නේ. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය දකින්නේ.

එතකොට පින්වත්නි, ඒ ධර්මය පිළිබඳව තමන් තුළින් මනාකොට දැක තියෙනවා නම්, ඒ ධර්මයේ ඒ ඒ ස්වභාවයන් යථාභූත වශයෙන් දැකලා තියෙනවා නම්, ඒ ධර්මය තුළ තියෙන අති ගාම්භීර අර්ථය, ඒ ධර්මය දැකපු කෙනාට මනා ලෙස විවර කරලා, බෙදලා, කොටස් කරලා පණවන්නට පුළුවන්. ආන්න එහෙම මනා ලෙස විවර කරලා බෙදලා කොටස් කරලා පණවනකොට, අපිට ඒ ධර්මය ඉතාමත්ම සුවසේ පහසුවෙන් දැකගන්නට පුළුවන්.

ඒක තමයි කල්‍යාණ මිත්‍රයෙක් සොයාගන්නට අවශ්‍යයි කියන්නේ

එතකොට පින්වත්නි, කල්‍යාණ මිත්‍ර සේවනය සද්ධර්මශ්‍රවණයට සම්බන්ධ වෙන්නේ ඔන්න ඔතනින්. ‘කල්‍යාණ මිත්‍රයා’ කියන්නේ අරිඅටඟි මගට පැමිණි, අරිඅටඟි මගට පැමිණිලා අරිඅටගි මග පිළිබඳව, මග, මග සලකුණු පිළිබඳව යමෙකුට දේශනා කරනවා නම් අන්න ඔහුටයි. එතකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුකින් නිදහස් වෙන්නට දේශනා කරපු ඒ මග, මග සලකුණු දැකලා ඒ මග, මග සලකුණු ඔස්සේ ගමන් කරන්නට අපිට අවවාද අනුශාසනා දෙන පුද්ගලයාට, ‘කල්‍යාණ මිත්‍රයා’ කියනවා.

ඉතින් ධර්මය දැකපු කෙනා, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරපු, ඒ ශ්‍රී සද්ධර්මය මනා ලෙස තමන් තුළින් පිළිවෙලට දන්නවා, දකිනවා කියන්නේ, ඔහු මුල මුල හැටියට, මැද මැද හැටියට, අග අග හැටියට, අවබෝධය කරා කියන එකයි. ඒ වගේම තමන් කරා පැමිණෙන අයටත්, ඒ ධර්මය දේශනා කරන්නේ පිළිවෙලටයි. මුල මුල හැටියට පලමුවෙන් දේශනා කරනවා. මැද මැද හැටියට දෙවන දේශනා කරනවා. තෙවනුව අග අග හැටියට දේශනා කරනවා. ඉතින් ඒ නිසා තමයි කල්‍යාණ මිත්‍රයෙක් සොයාගන්නට අවශ්‍යයි කියන්නේ.

මේ ධර්මය තුළ, මේ ජීවිතයේ නිවන හොයන එක අතහැරලා දමනවා

පින්වත්නි ඔබත් හිතලා බලන්නකෝ, මේ ධර්මය තුළ, අපි මුල ඉඳන් හරියට පිළිවෙලට හික්මෙන්ට ඕනි කියන නුවණ අපි තුළ තියෙනවද කියලා. එහෙම ඒ නුවණ තිබිලා පිළිවලට මුල ඉඳන් මේ ධර්මය තුළ ඔබ හික්මෙනවද බලන්න. පින්වතුනි අපි දකිනවා බහුතරයක්, ගොඩාක් දෙනා මේ මුල අතහැරලා, මැද අතහැරලා අගින් නිවන හොයනවා. ආන්න එහෙම මුල අතහැරලා මැද අතහැරලා, අගින් නිවන හොයන අය ටික කාලයක් යනකොට පින්වතුනි, "මේ ධර්මය නම් අපිට මේ ජීවිතය තුළ අවබෝධ කරගන්න බැහැ" කියලා මොකද කරන්නේ? මේ ධර්මය තුළ, මේ ජීවිතයේ නිවන හොයන එක අතහැරලා දමනවා.

පින්වතුනි ඒක ධර්මයේ තියෙන වැරැද්දක් නෙමෙයි. ධර්මයේ තියෙන පළවෙනි ගුණයම අපි හරියට අපි තුළ කියවාගත්තේ නැතිකම නිසායි, ඊට අනුරූපීව නොයෙදුනු නිසායි, අපිට මේ ජීවිතය තුළ මේ ධර්මාවබෝධය කරනවා කියන කාරණාව සිද්ධ කරන්න බෑ කියන කියවා ගැනීම ඇතිවෙලා තියෙන්නේ. මේ නිවන හොයන එක, නිවන හොයාගෙන වැඩ කටයුතු කරන එක, ගුණධර්ම පුරන එක, අපි අපේ ජීවිතයෙන් අතහැර දමලා තියෙන්නේ.

නිවැරදිව මේ විදිහට තහවුරු කරගන්න

ඒ නිසා පින්වතුනි ඔබ මුල මැද අග මනාකොට දේශනා කරපු මේ ධර්මය මුල මැද අග පිළිවෙලින් අහලා පිළිවෙලින් ඔබ මේ ධර්මය තුළ හික්මෙනවා නම්, ඔබට ක්‍රමානුකූලව මේ ධර්මය තුළම ඊළඟ ඊළඟ දහම් ස්වභාවයට පමුණුවන ඕපනයික ගුණය තුළ අරිඅටඟි මග දක්වාම, මග වැඩෙන්නට පටන් ගන්නවා. ඒ වගේම ඔබට තේරෙන්න ගන්නවා, අපිට මේ ජීවිතය තුළ ඉතාමත්ම ඉක්මනින් සුවසේ ධර්මාවබෝධය කරන්නට හැකි බව. ඒ නිසා මේ පින්වත් ඇත්තෝ හිතන්නට ඕනී. කල්පනා කරන්නට ඕනී. හොඳට මේ ධර්මයේ තියෙන ගුණ පිළිබඳව අධ්‍යයනය කරන්නට ඕනී. නිවන් දකින්නට මේ සද්ධර්මශ්‍රවණය කිරීම කොහොමද උදව් කරගන්නේ, උපකාර කරගන්නේ, කියන කාරණාව තමන් තුළින් නිවැරදිව මේ විදිහට තහවුරු කරගන්න. ඒකට ඔන්න ඔය ධර්මයේ තියෙන පළවෙනි ගුණය පිළිබඳව හිතලා කල්පනා කරලා හොඳට සිහිය නුවණ උපදවාගෙන තියෙන්නට අවශ්‍යයි.

ඉතාමත්ම කරුණාවෙන්, මෛත්‍රියෙන්, නිස්සරණ අධ්‍යාශයෙන් ඒ මග පෙන්නලා දෙනවා

ඉතින් කල්‍යාණ මිත්‍රයෙක් කියන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පිළිවෙලින් පැමිණිච්ච කෙනෙක්. එතකොට පිළිවෙලින් පැමිණිච්ච කෙනා දන්නවා දකිනවා පින්වතුනි මුල අතහැර දමලා, මැද අතහැර දමලා, මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණෙන්න බැහැ කියන කාරණාව. එතකොට ඔහුගේ අනුශාසනාව මුල අතහැරිච්ච එකක් නෙමෙයි. මැද අතහැරිච්ච එකක් නෙමෙයි. මුල මැද අග පිළිවෙලට කරන දේශනාවක්. ඒ නිසා පින්වතුනි, මුල මැද අග පිළිවෙලට කරන දේශනාවක් තුළ විතරයි යම්කිසි කෙනෙකුට මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියන එකත් ඔහු දකිනවා.

එතකොට පින්වතුනි ඔහු කවදාවත් මුල අමතක කරලා, මැද අමතක කරලා, අගින් ධර්මය දේශනා කරන්නේ නෑ. අගින් කොටසක් කියලා, මුලින් කොටසක් කියලා, මැදින් කොටසක් කියලා මේ ධර්මය තුළ ධර්මාවබෝධය කරන්න තියෙන අවස්ථාව කෙනෙකුට අතහැරෙනවා කියලා දැකලා, නිවැරදිව මග පෙන්නලා දෙනවා. එහෙම නොකරන කෙනෙකුට මග වරදිනවා කියලා දන්න නිසා මුලින් කොටසක්, මැදින් කොටසක්, අගින් කොටසක්, තැනින් තැන කොටස් කොටස් වශයෙන් කියන්නේ නැතුව හරියට පිළිවලට අනුපිළිවල දේශනාවක් ඔස්සේ පින්වතුනි, තමන් වෙත පැමිණෙන දුකින් නිදහස් වෙන්නට අවශ්‍ය අයට, උදව් කරනවා, උපකාර කරනවා. තමන් වෙත පැමිණෙන අයට ඉතාමත්ම කරුණාවෙන්, මෛත්‍රියෙන් නිස්සරණ අධ්‍යාශයෙන් ඒ මග පෙන්නලා දෙනවා. ඉතින් ඒ නිසා තමයි පින්වතුනි, කල්‍යාණ මිත්‍ර සේවනය ඇසුරු කරගෙන ධර්මශ්‍රවණය කළ යුතුයි, මේ ජීවිතයේ ඔබ හරි හැටි නිවන් දකින්නට කටයුතු කරන කෙනෙක් නම් කියලා, අපි නැවත නැවතත් කියන්නේ.

මොකද ධර්මය තුළ දේශනා කරන්නේ අප්‍රමාදී වෙන්නට කියලා

ඉතින් ඒ නිසා පින්වතුනි, ධර්මශ්‍රවණය තුළ ඔබ හරියටම මුල සීලය හොඳට පිරිසිදු කරගන්න ඕනේ. ආයෙ ආයෙත් හොඳට සීලය පිරිසිදු කරගන්න, පිරිසිදු කරගන්න, ආන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනාකොට මේ ධර්මය දේශනා කරලා තියෙනවා කියන කාරණාව තමන් තුළින් ධර්මය දනිමින් දකිමින් තේරුම් ගන්නවා. ඒ වගේම පින්වතුනි, සීලය කියන කාරණාව තමන් තුළ ඒ විදිහට දනිමින් දකිමින් ධර්මය තුළ විහරණය කරනකොට ආන්න, සීලය සමාධිය පිණිස උපකාර වෙන හැටිත්, සමාධිය පිළිබඳව හිතේ සංසිඳීම පිළිබඳව හොඳට දනිමින් දකිමින් කටයුතු කරනකොට, ඒ සමාධිය ප්‍රඥාව උපදින්නට ප්‍රත්‍ය වෙන ආකාරය දනිමින් දකිමින් කටයුතු කරනකොට මේ ධර්මය නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරලා තියෙනවානේ කියලා ඒ ධර්මය පිළිබඳවම, ඒ ධර්මය දේශනා කරපු භාග්‍යවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව අචල ප්‍රසාදයක් ඇතිවීම කරා හිත ක්‍රමානුකූලව නැඹුරු වෙනවා. හිත නැමෙනවා. ශ්‍රද්ධාව හිතේ වැඩෙන්නට ගන්නවා. වීර්යය හිතේ වැඩෙන්නට ගන්නවා. සති සමාධි ප්‍රඥා කියන මේ ධර්මයන්, හොඳට ඒ ධර්මය තුළ හැසිරීම මුල් කරගෙනම වැඩෙන්නට ගන්නවා.

ඉතින් කල්පනාවට ගන්න ඒකයි අපි මේ පින්වත් ඇත්තන්ට, පෙර පින් තියෙන්න ඕනි, පෙර පින් තිබිලා කල්‍යාණ මිත්‍රයෝ හොයාගන්න ඕනි, ඒ වගේම කල්‍යාණ මිත්‍රයෝ හොයාගෙන මෙන්න මේ විදියට මුල මැද අග මනාකොට මේ ධර්මය ශ්‍රවණය කරලා ඒ ධර්මයට අනුව හැසිරෙන්න ඕනි, කියන කාරණා සිහිපත් කරන්නට යෙදුනේ. ඉතින් පින්වත්නි මේ ධර්මශ්‍රවණය කියන කාරණාව මේ ජීවිතයේ මේ විදිහට අපිට අපේ ජීවිතයේදී ලැබෙනකොට, මේ ධර්මය හොඳට දරාගෙන ඊට අනුරූපීව හැසිරෙන්නට ඕනේ. ඒ වගේම පින්වතුනි, ධර්ම ශ්‍රවණය කරන පින්වතුන් හැටියට, මේ පින්වත් ඇත්තෝ, දවසේ යම් යම් වැඩ කොටසක් සමග මේ ජිවිතයේ නිවන් දැකීම උදෙසා දිනපතා පුරුදු කරන්න. දිනපතාම එදිනෙදා එදිනෙදා වැඩ කටයුතු සමග පුරුදු කරන්නට දක්ෂ වෙන්නට ඕනේ. මොකද ධර්මය තුළ දේශනා කරන්නේ අප්‍රමාදී වෙන්නට කියලායි. එහෙම නොවුණොත් වෙන්නේ ප්‍රමාද වෙන එකයි.

දෙවෙනි සොතාපත්ති අංගය හැටියට සද්ධර්මය ශ්‍රවණය සඳහන් කරනවා

කොච්චර ධර්මය ඇහුවත්, ඒ ධර්මය අපි හොඳට දරාගෙන පුරුදු කළේ නැත්නම්, අපේ චිත්ත සන්තානය තුළ මේ කෙලෙස් දූවිලි අතහැරිලා, කෙලෙස් දූවිලි මැකිලා ගිහින්, අර නිවන් දකින, අපි අර මුලින් සඳහන් කරපු, උඩුගම් බලා යන වැඩපිළිවල සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ධර්මශ්‍රවණය කියන කාරණාව අතිශය වැදගත් පින්වතුනි. සෝතාපත්ති අංග වල සෝතාපත්ති අංග හතරේ කල්‍යාණ මිත්‍ර සේවනය තමයි පළවෙනිම සෝතාපත්ති අංගය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දෙවෙනි කාරණාව තමයි සද්ධර්මශ්‍රවණය. බලන්න පින්වතුනි පළවෙනි සෝතාපත්ති අංගය හැටියට කල්‍යාණ මිත්‍ර සේවනය සඳහන් කරනවා. දෙවෙනි සොතාපත්ති අංගය හැටියට සද්ධර්මය ශ්‍රවණය සඳහන් කරනවා. එතන පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන කරුණු කාරණා දෙක මුලින්ම දේශනා කරලා තියෙනවා. එතකොට එහෙනම් මුලින්ම පින්වතුනි ඔබ දක්ෂ වෙන්නට ඕනේ කල්‍යාණ මිත්‍රයෝ හොයාගන්න. ඒ වගේම එහෙම කල්‍යාණ මිත්‍රයෝ හොයාගෙන, ධර්මශ්‍රවණය කරන්නට.

සීලය පිළිබඳවත් හිතන්න. කල්පනා කරන්න

ඉතින් ඒ නිසා ඔබ අද මේ දේශනාවෙන් තේරුම් ගත්තා, මේ ධර්මයේ මුල කොටස අතහැරලා, මැද කොටස අතහැරලා, අග කොටස පුරුදු කරන්න ගත්තට පුහුණු කරන්න ගත්තට, ආන්න ඒ වැඩපිළිවල ඔස්සේ මේ පින්වත් ඇත්තන්ට ඒ නිවන් දැකීම කියන කාරණාව සිද්ධ කරගන්න අමාරුයි කියලා. යම්කිසි කෙනෙක් දැන් හිතමුකෝ මුල පුරුදු කරන්නේ නැතුව අග පුරුදු කරන්නේ, මැද පුරුදු කරන්නේ නැතුව අගින්ම මේ ධර්මය දැන් පුරුදු කරන කෙනෙක් පුහුණු කරන කෙනෙක් කියලා. එහෙමනම් පින්වතුනි ඔබට ඔය පුරුදු කරන දහම් කොටස තුළ ඒ ඇති කරගන්න උත්සාහ කරන ප්‍රඥාව තාම තමන් තුළ ඇතිවෙලා නැතිනම්, ඒ තමයි අර සීලයේ තියෙන අඩුපාඩුව, සමාධියේ තියෙන අඩුපාඩුව. එහෙනම් පින්වතුනි ඔය දහම් කොටස ඔය දහම් පරියාය ඔස්සේ ප්‍රඥාව දියුණු කරගන්න සම්පූර්ණය කරන්න කටයුතු කරන ගමන්, අර සීලය පිළිබඳවත් හිතන්න, කල්පනා කරන්න. සමාධිය පිළිබඳවත් හිතන්න, කල්පනා කරන්න. එහෙම ඔබ නැවතත් ඒ මුල සීලය කොටස පිරිසිදු කරගන්න. ඒ සීලය කොටසත් පුරුදු කරන කොට, පුහුණු කරන කොට ආන්න සීලය මත සමාධිය තමන්ගේ හිතේ සංසිඳීම ඇතිවේවි නියත වශයෙන්ම. පංච නීවරණ ධර්මයන් තමන්ගේ හිතෙන් දුරුවේවි නියත වශයෙන්ම. ඒ මත පදනම්ව අර කියන්නා වූ ගැඹුරු ප්‍රඥාව තමන්ගේ හිතේ ඇතිවෙලා මේ ධර්මය දකින්නට ලැබේවි නියත වශයෙන්ම.

ඉතින් ඒ නිසා පින්වතුනි ධර්මශ්‍රවණය කරනකොට හරියට පිළිවෙලට මුල ඉඳන් මේ දේශනාව ඇහුවා නම්, මුල ඉඳන් මේ දේශනාව පුරුදු කරා නම්, ඉතාමත්ම ඉක්මනින් ඉතාමත්ම සුවසේ මේ ධර්මය අපි තුළින් දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා පින්වතුනි හිතන්න කල්පනා කරන්න පිළිවලින් පිළිවලට පියවරෙන් පියවර මේ ධර්මය තුළ මම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය කරා ගමන් කරනවා. පිළිවලින් පිළිවෙලට දිනපතාම මොන දේ තිබ්බත් අත්නොහැර නිවන් මග පුරුදු කරන යම් කොටසක් මම මගේ ජීවිතයේ දිනපතාම, එදා එදා අත් නොහැර පුරුදු කරනවා කියලා. ආන්න එතකොට ගිහි පින්වත් ඇත්තන්ට ලැබිච්ච මේ මනුසාත්මභාව පටිලාභය තුළ දුක, සමුදය, නිරෝධය, මාර්ගය කියන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට පුළුවන්කම ඇති හැකියාව ලැබෙනවා. ඉතින් ඒ දක්වාම මේ පින්වත් ඇත්තෝ තමන් මේ ධර්මය පිළිවලට අහලා පුරුදු කරන්න පුහුණු කරන්න කියන කාරණාවත් අපි මේ පින්වත් ඇත්තන්ට මේ ධර්මශ්‍රවණය කියන මාතෘකාව ඔස්සේ මතක් කරනවා. ඊළඟට පින්වතුනි ඊළඟ වැඩසටහන තුළ අපිට දේශනා කරන්න තියෙන්නේ ඊළඟ මාතෘකාව, අකුසලය හඳුනා ගැනීම, කුසලය හඳුනා ගැනීම. එතකොට පෙර පින් තියෙන්න ඕනේ, කල්‍යාණ මිත්‍රයෝ හොයාගන්න ඕනේ, ධර්මශ්‍රවණය කරන්න ඕනි. ඒ ධර්මශ්‍රවණය තුළ පින්වතුනි ඉස්සෙල්ලාම සිද්ධ වෙන්න ඕනේ, අකුසලය සහ කුසලය හඳුනා ගැනීම. ඉතින් ඒක අපි ඊළඟ දේශනාවේ ඊළඟ මාතෘකාව යටතේ මේ පින්වත් ඇත්තන්ට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉතින් මේ ධර්ම ශ්‍රවණය කළ පිනත් මේ පින්වත් හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා! වාසනා වේවා! කියලා ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාව මෙතෙකින් නිමා කරනවා.

🙏 මේ පින්වත් හැමදෙනාටම තෙරුවන් සරණයි! 🙏
ධර්මදානය පිණිස පහත buttons මගින් සමාජජාලා ඔස්සේ බෙදාහරින්න
ඕඝතරණ දහම් සංග්‍රහය | oghatharana.com

පූජ්‍ය කොළඹගම ධම්මදීප ස්වාමීන්වහන්සේ හා පුජ්‍යපාද දූල්වල යසස්සී ස්වාමීන්වහන්සේ විසින් සංසාර දුකින් අත්මිදීමට වෙර දරන උත්මතම උත්මාවන් උදෙසො පිදෙන ධර්ම දානයකි.

Post a Comment

ඔබගේ අදහස් පහතින් දක්වන්න.

Previous Post Next Post