ඕඝතරණ මාර්ගය දේශනා අංක 07 - කුසලය, අකුසලය හඳුනාගැනීම

ඕඝතරණ මාර්ගය දේශනා අංක 07 - කුසලය, අකුසලය හඳුනාගැනීම
ඕඝතරණ මාර්ගය දේශනා අංක 07 - කුසලය, අකුසලය හඳුනාගැනීම
🪷 දේශකයාණන් වහන්සේ: පූජ්‍ය කොළඹගම ධම්මදීප ස්වාමීන් වහන්සේ
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

ඒ භාග්‍යවත් වු අර්හත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි! මාගේ නමස්කාරය වේවා!

ඉතින් අද දවසේ එහි හත්වෙනි වෙනි දේශනාව තමයි මේ. ඕඝතරණ දහම් සංග්‍රහය යූටියුබ් නාලිකාව ඔස්සේ ධර්මශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික බෞද්ධ පින්වත්නි, මේ පින්වතුන් සූදානම් වෙන්නේ අද තවත් එක් ධර්ම දේශනාවක් සමඟින් අපත් සමග එක්වන්නටයි. මේ හැමදෙනාම සූදානම් වෙන්නේ අද දවසේත්, අප විසින් සිද්ධ කරන හත්වෙනි දේශනාව සමඟ සහ සම්බන්ධ වෙන්නටයි.

ඉතින් අපි මේ වෙනකොට ඕඝතරණ මාර්ගය නමින් දේශනා මාලාවක් මේ පින්වත් ඇත්තන්ට සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරා, ඒ දේශනා මාලාවේ දේශනා හයක් මේ වෙනකොට සිද්ධ කරලා අවසානයි.

ඉතින් පසුගිය පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි කියන මේ දේශනාවන්හි අපි සිද්ධ කරන්නට යෙදුනේ පින්වතුනි,

  • පළවෙනි දේශනාවේදී මේ දේශනා මාලාව පිළිබඳව හැඳින්වීම.
  • දෙවෙනි දේශනාවේදී දේශනා පෙළගැස්ම පිළිබඳව.
  • තුන්වෙනි, හතරවෙනි දේශනාවන්හිදී පෙර පින් ඇති බව කියන මාතෘකාව යටතේ ධර්ම දේශනාවන් දෙකක් සිද්ධ කරන්නට යෙදුනා.
  • පස්වෙනි දේශනාව ඔස්සේ, කල්‍යාණ මිත්‍රයන් සේවනය කිරීම කියන කාරණාව පිළිබඳව විස්තර කරන්නට යෙදුනා.
  • හයවෙනි දේශනාව ඔස්සේ, සද්ධර්මශ්‍රවණය පිළිබඳව විස්තර කරන්නට යෙදුනා.

කුසලය සහ අකුසලය හඳුනා ගැනීම

එතකොට අද අපි දේශනා කරනවා කිව්වේ පින්වත්නි, ‘කුසලය සහ අකුසලය හඳුනා ගැනීම’ කියන මාතෘකාවන් පිළිබඳවයි. පෙර පින් ප්‍රත්‍ය කරගෙන කල්‍යාණ මිත්‍රයෝ මුණගැහෙනවා. කල්‍යාණ මිත්‍රයා මුණගැහිච්ච එක්කෙනා පින්වතුනි, ධර්මශ්‍රවණය කරනවා. ආන්න ඒ ධර්මශ්‍රවණයෙන් පින්වතුනි අකුසලය මොකක්ද? කුසලය මොකක්ද? කියලා තමන් තුළින් හොඳට හඳුනාගන්නවා. තමන් තුළින් අකුසලය, කුසලය දකින්නට ගන්නවා. ඉතිං පින්වත්නි, මේ පින්වත් ඇත්තෝ පුංචි කාලේ ඉඳන් අහන වචන දෙකක් තමයි මේ අකුසලය සහ කුසලය කියන කාරණා. මේ වචන පින්වතුනි අපිට ඕන තරම් ඇහිලා තියෙනවා කුසලය මේකයි, අකුසලය මේකයි කියලා.

මේ කුසලය අකුසලය කොහෙද උපදින්නේ? මේ කුසලය අකුසලය කොහෙද හටගන්නේ?

“කුසලය අකුසලය, කුසලය අකුසලය”, කියලා අපිට නොයේක් ධර්ම දේශනාවන් ඔස්සේ, නොයේක් පොතපත කියවද්දී, අහන්න ලැබිලා තියෙනවා. මම මේ පින්වත් ඇත්තන්ගෙන් අහන කාරණාව තමයි, මේ පින්වත් ඇත්තන්ගෙන් ඇහුවොත්, “කුසලය දැකලා තියෙනවද? අකුසලය දැකලා තියෙනවද?” කියලා මේ පින්වත් ඇත්තෝ හොඳට හිතලා බලන්න. මොකක්ද? දෙන පිළිතුර. මම ඇත්තටම කුසලය දැකලා තියෙනවද? අකුසලය දැකලා තියෙනවද? එතකොට පින්වතුනි ඔබට උත්තරයක් සමහර වෙලාවට දෙන්න නොලැබිලා යන්න පුළුවන්. එතකොට තමයි මේ පින්වත් ඇත්තන්ට කුසලය දකින්න ඕනි, අකුසලය දකින්න ඕනි, කියන කාරණාව හෝ සිහිපත් වෙන්නේ.

එතකොට පින්වතුනි, අපි එහෙනම් කුසලය, අකුසලය කෙසේ දකින්නට පුළුවන් ද? කියන කාරණාව පිළිබඳව හොඳට අහලා තේරුම් ගන්න ඕනී. අහලා තේරුම් අරගෙන, මේ කුසලය අකුසලය පිළිබඳව ඉස්සෙල්ලාම අඳුනගන්න ඕනේ. පින්වතුනි, කුසලය අකුසලය අඳුනගන්න නම්, අපි දැනගෙන ඉන්න ඕනේ කුසලයේ ස්වභාවය, අකුසලයේ ස්වභාවය. ඒ වගේම පින්වතුනි කුසලය අකුසලය දකින්න නම් අපි හොඳට දැනගෙන ඉන්න ඕනේ, අහලා තියෙන්න ඕනේ මේ කුසලය අකුසලය කොහෙද උපදින්නේ? මේ කුසලය අකුසලය කොහෙද හටගන්නේ? කියලා. පින්වතුනි මේ කුසලය අකුසලය හටගන්නේ කොහෙද? කියලා, කුසලය අකුසලය උපදින්නේ කොහෙද? කියලා කවුරු හරි ඇහුවොත්, ඔබ ඔහුට දෙන උත්තරය මොකක්ද? ඔබට පුළුවන්කමක් තියෙන්න ඕනේ මේ කුසලය උපදින්නේ, කුසලය හටගන්නේ, මේ අකුසලය උපදින්නේ, මේ අකුසලය හටගන්නේ තමන්ගේ හිත තුළයි කියන පිළිතුර ඔහුට නොබියව දෙන්න.

තමන්ගේ හිත පැත්ත බලන කෙනාට තමන්ගේ හිත තුළින් කුසලය, අකුසලය හඳුනගන්න පුළුවන්

එතකොට පින්වතුනි කුසලය අකුසලය හඳුනාගන්නට නම් කුමක්ද කළ යුත්තේ? කියන කාරණාවත් ඔබට පිරිසිදුව පිළිවෙලට නිවැරදිව දේශනා කරන්නට පුළුවන්. පින්වතුනි කුසලය හඳුනගන්න නම්, කුසලය දකින්න නම්, අකුසලය හඳුනගන්න නම්, අකුසලය දකින්න නම්, දැන් අපි ඉගෙනගත්තා, දැන් අපි අහගත්තා, මේ කුසලය උපදින්නේ, මේ අකුසලය උපදින්නේ තමන්ගේ හිතේ. එතකොට පින්වතුනි තමන්ගේ හිත පැත්ත බලන කෙනාට තමන්ගේ හිත තුළින් කුසලය අකුසලය හඳුනගන්න පුළුවන්. තමන්ගේ හිත දිහා බලන්න වෙනවා, කුසලය අකුසලය හඳුනා ගැනීමේ අදහසින්.

දැන් බලන්න පින්වතුනි අපි උදේ ඉඳන් රෑ වෙනකන් නින්දට යනකන්ම මේ ලෝකයේ දිහා බලාගෙනමයි ඉන්නේ. එතකොට පින්වතුනි අපිට කුසලය අකුසලය, අපිට අපි තුළින් අපේ හිතේ උපදිනකොට ඒ ඒ තැන ඒ ඒ වෙලාවේ ඒ ඒ මොහොතේ දකින්නට පුළුවන්කමක් ලැබෙයිද? මොකද අපි අපේ හිත පැත්ත බලන කාරණාව අතහැරලා ලෝකයට නැඹුරු කරගත්ත හිතකින් යුක්තව ලෝකයේ දිහා බලමින්, හොයමින්, අඩුපාඩු කතා කරමින් කාලය ගත කරනවා. ඔය විදිහට කවදාවත් අපිට කුසලය අකුසලය තමන් තුළින් දකින්න, තමන් තුළින් අඳුනගන්නට නොහැකි වෙලා යනවා.

පින්වතුනි ඔබ මේ අකුසලය තමන් තුළින් දැක්කේ නැතිනම්, අකුසලය දුරු කරනවා කියන කාරණාව කවම කවදාවත් සිද්ධ වෙන එකක් නෙමෙයි. කුසලය තමන්ගේ චිත්ත සන්තානය තුළ තමන්ගේ හිත තුළ උපදිනවා දැක්කේ නැති කෙනාට පින්වත්නි කුසලය දියුණු කරනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නෑ. එහෙනම් අකුසලය දුරු කරනවා. කුසලය දියුණු කරනවා කියන කාරණාව සිද්ධ කරගන්න නම්, සිද්ධ වෙන්න නම්, තමන් තුළින් තමන්ගේ හිත තුළ උපදින කුසලය කුසලය හැටියටත්, අකුසලය අකුසලය හැටියටත්, හොඳට දකින්නට පුළුවන් කමක් තියෙන්නට ඕනේ.

කුසලයේ ස්වභාවය, අකුසලයේ ස්වභාවය, දැනගෙන ඉන්නට ඕනේ

එතකොට පින්වතුනි එහෙනම් හරි කුසලය අකුසලය හඳුනගන්න කුසලය අකුසලය දකින්න නම්, ‘තමන්ට තමන්ගේ හිත පැත්ත බලන්නට ඕනි’ කියන තැනට, දැන් ඔබ අපි හැමදෙනාම ඇවිදින් තියෙනවා. ඊළඟට පින්වතුනි මේ කුසලයයි, මේ අකුසලයයි කියලා එහෙනම් ලකුණු කරගන්න නම් අපි කුසලයේ ස්වභාවය, අකුසලයේ ස්වභාවය දැනගෙන ඉන්නට ඕනේ. අන්න ඒ තුළ තමයි අපිට මේ කුසලයයි, මේ අකුසලයයි කියලා නම් කරගන්නට පුළුවන්. එහෙනම් පින්වතුනි අකුසලයේ ස්වභාවය මොකක්ද කියලා ඇහුවොත් අපි මොකක්ද දෙන උත්තරය? අපි මොකක්ද දෙන පිළිතුර? අකුසලය ස්වභාවය මේකයි කියලා අපි ධර්මශ්‍රවණය තුළ ඉගෙනගෙන තිබුනේ, නැතිනම් අකුසලය අපිට අකුසලය හැටියට නම් කරන්න, අකුසලය අකුසලය හැටියට දකින්නට නොහැකි වෙලා යනවා. ඒ වගේම කුසලයේ ස්වභාවය මොකක්ද කියලා අපි දැනගෙන ධර්මශ්‍රවණය තුළින් ඉගෙනගෙන තිබ්බේ නැතිනම්, මේ කුසලයයි කියලා අපිට අපි තුළ කුසලය හඳුනගන්න දකින්න නොහැකි වෙලා යනවා.

පින්වත්නි අකුසලයේ ස්වභාවය මොකක්ද කියලා එහෙනම් ඔබ හොඳට දැනගෙන ඉන්නට වෙනවා. අකුසලය ස්වභාවය තමයි, අපේ චිත්ත සන්තානය දවනවා. තවනවා. අපිරිසිදු කරනවා. කිලිටි කරනවා. අසංවර කරනවා. අපේ හිතේ තියෙන දමනය නැති කරලා දානවා. එතකොට පින්වතුනි, ඔබේ චිත්ත සන්තානය දිහා බලනකොට, ඔබේ හිත දිහා බලනකොට, ඔබට චිත්ත සන්තානයේ දවන ස්වභාවයක්, තවන ස්වභාවයක්, කිලිටි කරන ස්වභාවයක්, අසංවර ස්වභාවයක්, අපිරිසිදු ස්වභාවයක් තියෙනවා නම්, ඒ ස්වභාවය අකුසලය හැටියට දකින්නට ඕනේ. අකුසල හැටියට ලකුණු කරගන්නට ඕනේ. අපේ හිතෙහි එවෙලේ ඉපදිලා තියෙන්නේ අකුසලයයි.

එතකොට පින්වතුනි, ඔබේ චිත්ත සන්තානය දිහා බලනකොට, ඔබේ හිත දිහා බලනකොට, ඔබට චිත්ත සන්තානයේ දවන්නේ නැති ස්වභාවයක්, තවන්නේ නැති ස්වභාවයක්, කිලිටි කරන්නේ නැති ස්වභාවයක්, සංවර ස්වභාවයක්, පිරිසිදු ස්වභාවයක්, දමනය වුණු ස්වභාවයක් තියෙනවා නම්, ඒ ස්වභාවය කුසලය හැටියට දකින්නට ඕනේ. කුසලය හැටියට ලකුණු කරගන්නට ඕනේ. අපේ හිතෙහි එවෙලේ ඉපදිලා තියෙන්නේ කුසලයයි.

මේ අකුසලයයි

පින්වතුනි මෙන්න මෙහෙම ඔබේ චිත්ත සන්තානය දිහා බලනකොට, ඔබ කුසලය, අකුසලය හඳුනා ගැනීමේ අදහසින්, එහෙම නැත්නම් ඔබේ චිත්ත සන්තානයේ ස්වභාවය දැන් අකුසල සහගතද කුසල සහගතද කියලා විමසන අදහසින්, හොයලා බලන අදහසින්, විමසලා බලනකොට තමන්ගේ හිත පැත්ත බලනකොට, ඔබට ස්වභාවයන් දෙකක් හම්බ වෙනවා.

එකක් තමයි චිත්ත සන්තානයේ දවන ස්වභාවය, චිත්ත සන්තානය තවන ස්වභාවය, චිත්ත සන්තානය කිලිටි කරන ස්වභාවය. ඒ වගේම අපිරිසිදු කරන ස්වභාවය. අසංවර ස්වභාවය. නොහික්මුණු ස්වභාවය. මෙන්න මේ ස්වභාවයෙන් යුක්ත නම් එවෙලේ ඔබේ චිත්ත සන්තානය දිහා බලලා ලකුණු කරන්න ඕනි, ‘මේ අකුසලයයි’ කියලා. ආන්න ඒ ස්වභාවයට, ඒ අකුසල සහගත ස්වභාවයට එතනින් පස්සේ නැවත නැවත ‘මේ අකුසලයයි’ කියලා මෙනෙහි කරමින් හිත යොමු කරන්නට ඕනේ. හිත යොමු කරලා සිහිය පිහිටුවන්න ඕනේ. එතකොට ඔබට අකුසලය, අකුසලය හැටියට වැටහේවී ඒ මත සිත පිහිටුවමින්ම. අකුසලය, අකුසලය හැටියට සිහිකරගන්න පුලුවන් වෙනවා, හිත ඒ මත පිහිටුවමින්ම. එතකොට මනා ලෙස ඔබ අකුසලයට හිත යොමු කරලා ‘අකුසලයයි’ කියලා මෙනෙහි කරමින් ඒ අකුසල සහගත ස්වභාවය තුළ සිහිය පිහිටන්න පිහිටන්න, අන්න පින්වතුනි ඔබට නැවත නැවත අකුසලය දකින්නට පුළුවන්කම ලැබෙනවා, අකුසල හැටියට.

මේ කුසලයයි

පින්වතුනි නැවතත්, මෙන්න මෙහෙම ඔබේ චිත්ත සන්තානය දිහා බලනකොට, ඔබ කුසලය, අකුසලය හඳුනා ගැනීමේ අදහසින්, එහෙම නැත්නම් ඔබේ චිත්ත සන්තානයේ ස්වභාවය දැන් අකුසල සහගතද කුසල සහගතද කියලා විමසන අදහසින්, හොයලා බලන අදහසින්, විමසලා බලනකොට තමන්ගේ හිත පැත්ත බලනකොට, ඔබට දකින්නට හම්බ වෙනවා මෙන්න මෙහෙම ස්වභාවයක්.

චිත්ත සන්තානයේ දවන්නේ නැති ස්වභාවයක්. චිත්ත සන්තානය තවන්නේ නැති ස්වභාවයක්. චිත්ත සන්තානය කිලිටි කරන්නේ නැති ස්වභාවයක්. ඒ වගේම පිරිසිදු කරන ස්වභාවයක්. සංවර ස්වභාවයක්. හික්මුණු ස්වභාවයක්. මෙන්න මේ ස්වභාවයෙන් යුක්ත නම් එවෙලේ ඔබේ චිත්ත සන්තානය දිහා බලලා ලකුණු කරන්න ඕනි, ‘මේ කුසලයයි’ කියලා. ආන්න ඒ ස්වභාවයට, ඒ කුසල සහගත ස්වභාවයට එතනින් පස්සේ නැවත නැවත ‘මේ කුසලයයි’ කියලා මෙනෙහි කරමින් හිත යොමු කරන්නට ඕනේ. හිත යොමු කරලා සිහිය පිහිටුවන්න ඕනේ. එතකොට ඔබට කුසලය, කුසලය හැටියට වැටහේවී ඒ මත සිත පිහිටුවමින්ම. කුසලය, කුසලය හැටියට සිහිකරගන්න පුලුවන් වෙනවා, හිත ඒ මත පිහිටුවමින්ම. එතකොට මනා ලෙස ඔබ කුසලයට හිත යොමු කරලා ‘කුසලයයි’ කියලා මෙනෙහි කරමින් ඒ කුසල සහගත ස්වභාවය තුළ සිහිය පිහිටන්න පිහිටන්න, අන්න පින්වතුනි ඔබට නැවත නැවත කුසලය දකින්නට පුළුවන්කම ලැබෙනවා, කුසලය හැටියට.

ඉතාමත්ම ඉක්මනින් කටයුතු කරනවා

එතකොට පින්වතුනි ඔබට අකුසලය අඳුනගන්නට ලැබෙනවා. කුසලය අඳුනගන්නට ලැබෙනවා. පින්වතුනි මෙන්න මෙහෙම ඔබේ චිත්ත සන්තානය තුළ ‘අකුසලය මේකයි’ කියලා අඳුනගෙන, ‘අකුසලයයි’ කියලා දකිනකොට, ‘කුසලය මේකයි’ කියලා, ‘කුසලය’ දකිනකොට, ආන්න එදායින් පස්සේ අපිට ඔබට කියන්න ඕනේ නෑ, අකුසලය දුරු කරගන්න, කුසලය දියුණු කරගන්න කියලා. මොකද පින්වතුනි, අපි කවුරුත් කැමති නෑ, අපේ චිත්ත සන්තානය දවනවා, තවනවා, කිලිටි කරනවා, අපිරිසිදු කරනවාට.

දැන් බලන්න මේ පින්වත් ඇත්තෝ තමන්ගේ ඇඳුමක් කිලිටි වෙච්ච ගමන්ම ඉක්මනින් කරන්නේ මොකක්ද? තමන්ගේ අතේ ලේන්සුවක් තියෙනවා නම්, ඒ ඇඳුමට මොනවා හරි වැටුනා නම් ඒ වැටිච්ච තැන ඉක්මනින්ම ඔය ලේන්සුවෙන් පිහදාලා, ඒ අපිරිසිදු ගතිය අයින් කරනවා. ඒ වගේම පින්වතුනි මේ පින්වත් ඇත්තෝ ඇඳුම් විතරක් නෙමෙයි, තමන් කිලිටියි කියලා, අපිරිසිදුයි කියලා, යමක් දැක්ක නම්, ඒ දේ ඉක්මනින්ම, ඒවා පිරිසිදු කරගන්නවා නේද? තමන් තමන්ගේ නිවසේ තියෙන, කුණු අතුගාලා නිවසින් අයින් කරනවා. ඇඳුම් වලින්, භාජන වලින්, ඒ වගේම සෑම තැනකින්ම මේ කිලිටි අපිරිසිදු දේ අයින් කරගන්න ඉතාමත්ම ඉක්මනින් කටයුතු කරනවා.

අධිෂ්ඨානයක් ඇති කරගන්නවා

එහෙනම් පින්වතුනි, අන්න එහෙම මේ පින්වත් ඇත්තෝ ‘තමන්ගේ චිත්ත සන්තානය දවනවා, තවනවා, කිලිටි කරනවා, අපිරිසිදු කරනවා’ කියලා යම් ස්වභාවයක් අඳුනගත්තද, අන්න ඒ ස්වභාවය ඉතාමත්ම ඉක්මනින් ඔබේ චිත්ත සන්තානයෙන් අයින් කර ගැනීම උදෙසා කැමැත්තක් උපදවා ගන්නවා, අධිෂ්ඨානයක් ඇති කරගන්නවා. වීර්යය කරන්න පටන් ගන්නවා. ඒ උදෙසා කළ යුතු දේ මොකක්ද කියලා විමසන්නට පටන් ගන්නවා.

ඒ වගේම තමන්ගේ චිත්ත සන්තානය දවන්නේ නැත්නම් පිරිසිදුයි නම් ඒ පිරිසිදු ස්වභාවය, ඒ වගේම ඒ සංවර වෙච්ච ස්වභාවය, ඒ දමනය වෙච්ච ස්වභාවය, දැක්කට අදුනගත්තට පස්සේ ඒකේ තියෙන ශාන්ත ප්‍රණීත ස්වභාවයත් එක්ක තමන්ගේ හිත දිගටම මේ ආකාරයෙන් පවත්වාගෙන යන්න ඕනි කියලා කැමැත්තක් ඇති කරගන්නවා, අධිෂ්ඨානයක් ඇති කරගන්නවා, දැඩි වීර්යයක් ඇති කරගන්නවා.

ඒ වගේම පින්වතුනි මෙච්චර කාලයක් ඔබ ‘සැපයි! සැපයි! සැපයි!’ කියලා සැප හොයාගෙන ගියා. එහෙම සැපට කැමති වෙලා සැප හොයාගෙන ගියාට, මෙන්න මෙහෙම පින්වතුනි ඔබට ඔබේ චිත්ත සන්තානය තුළ අකුසලය අඳුනගෙන අකුසලය දුරු කරනකොට කුසලය අඳුනගෙන කුසලය පවත්වාගෙන යනකොට ඔබ හොයපු සැබෑම සැප, මෙන්න මෙහෙම කුසලය හඳුනා ගැනීම තුළ ආන්න තමන්ට ලැබෙනවා කියන කාරණාව, තමන් තුළ ප්‍රත්‍යක්ෂ වශයෙන් ඇති කරගත්ත සිහියක් නුවණක් තුළින් දකින්නට ලැබෙනවා.

මම තවත් එක චූටි කතාවකින් මේක කියන්නම්කෝ පින්වතුනි

මම තවත් එක චූටි කතාවකින් මේක කියන්නම්කෝ පින්වතුනි, මේ ස්වභාවය තවත් තේරුම් ගන්න. අපි දැකලා තියෙනවා මේ පුංචි දරුවෙක්, කොහේ හරි පහනක් දල්වලා තියෙනවා නම්, යම් අවස්ථාවකදී අපේ ගෙදර ඉටිපන්දමක් දල්වලා තියෙනවා නම්, මේ පුංචි දරුවා මොකද කරන්නේ? ‘මේ පහන් හරිම ලස්සනයි’ කියලා දැකලා, ඒ පහන අල්ලන්න දුවනවා. නමුත් දෙමව්පියෝ මොකද කරන්නේ? තමන්ගේ දරුවා ඒ පහනට පිච්චෙනවා කියලා දැනගෙන දැකලා, ඒ පහන අල්ලන්න දෙන්නේ නෑ. කොහොම හරි ඒක මගහරවා ගන්නවා. නමුත් මේ වැඩිහිටියන්ගේ, මේ දෙමව්පියන්ගේ, පුංචි ප්‍රමාදයක් දැකලා, අර පහන් දැල්ල වෙත කොහොම හරි මේ පුංචි දරුවා ළඟා වෙලා, ඒ පහන් දැල්ල අල්ලනවා. ඇල්ලුවාට පස්සේ ඒ පුංචි දරුවාගේ අත පිච්චෙන්නට ගන්නවා. ඇඟිලි පිච්චෙන්නට ගන්නවා. එහෙම පිච්චිච්ච ගමන්ම ආසාවෙන් අල්ලපු ඒ පහන් දැල්ල, ක්ෂණයක් තුළ ඒ දරුවා මොකද කරන්නේ? අතහැරලා දානවා. ඒ පහන අල්ලන්න තිබ්බ, ආසාව ඒ දරුවගේ හිතින් මොකද වෙන්නේ? අතහැරිලා යනවා. අන්න ඒ වගේ තමයි පින්වතුනි මේ කුසලය අකුසලය තුළ, අකුසලය අඳුනගත්තට පස්සේ, අකුසලය චිත්ත සන්තානය දවනවා තවනවා කියලා, දැක්කට පස්සේ, අපි ඒකයි “අලුතින් කියන්න ඕනේ නෑ අකුසලය දුරු කරන්න” කියලා කිව්වේ. අපි ඔබට “අලුතෙන් කියන්න ඕනේ නෑ කුසලය පවත්වාගෙන යන්න” කියලා කිව්වේ. ඒක ඔබ තුළම ඇතිවෙන සිහියක්, නුවණක්. ඒ වගේම ඒත් එක්ක ගොඩනැගිච්ච වීර්යයක්, අධිෂ්ඨානයක්, කැමැත්තක් තමන්ගේ හිත තුළ ඇතිවෙනවා.

මෙන්න මේක තමයි පින්වතුනි ධර්මය දරාගෙන, ධර්මය විමසලා, ධර්මයේ හැසිරෙනවා කියන්නේ

ඒ නිසා පින්වතුනි මෙතනින් ඉස්සරහට දහම් මාර්ගය ඉස්සරහට වඩන්න තියෙන්නේ, වැඩෙන්න තියෙන්නේ, මෙන්න මේ අඳුනගත්ත අකුසලය අඳුනා ගැනීම තුළින්, කුසලය අඳුනා ගැනීම තුළින් තමයි. ඉදිරියට දහම් මාර්ගය ක්‍රමානුකූලව පුරුදු කරන්න, පුරුදු කරන්න අර චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය දක්වාම, කුසල ධර්මයන් කුසල ධර්මයන්ගේ ස්වභාවයන් තමන්ගේ චිත්ත සන්තානය තුළින් අඳුනගන්නට ලැබෙනවා. එතකොට පින්වතුනි පියවරෙන් පියවරට, පියවරෙන් පියවරට ඒ කුසල සහගත ස්වභාවය අඳුනගෙන, ඒ මත පිහිටනවා. ඒ කුසල සහගත ස්වභාවය දියුණු කරගන්නවා. පියවරෙන් පියවරට අකුසලය අඳුනගෙන, ඒ අකුසල සහගත ස්වභාවය දුරු කරනවා.

පින්වතුනි, එතනින් පස්සේ මේ ධර්මය තුළ විශාල ප්‍රීතියක් ඔහුට අන්න තමන්ගේ ජීවිතයේ ඇති වෙනවා. ඒ වගේම මේ ධර්මය තුළ හැසිරෙන්න, අපිට මේ විදිහට ඕනෑම අවස්ථාවකදී, ඕනෑම තැනකදී පුළුවන් කියන විශ්වාසයක් ඔහු තුළ ඇතිවෙනවා. දැන් ගොඩාක් පින්වතුන්ට හිතෙන කාරණාවක්නේ “අපිට වෙලාව නෑ. අපිට කාලය නෑ” කියන එක. හැබැයි පින්වතුනි තමන්ට ඕනෑම තැනකදී, ඕනෑම ස්ථානයකදී, ඕනෑම වෙලාවකදී, බලන්න තමන් හිතන්නේ මොනවද? තමන් කල්පනා කරන්නේ මොනවද? තමන්ගේ චිත්ත සන්තානයේ ස්වභාවය මොකක්ද? දැන් මේ වෙලේ මගේ චිත්ත සන්තානය අකුසල සහගතද? මේ වෙලාවෙ මගේ චිත්ත සන්තානය කුසල සහගතද? කියලා විමසන්න බැරි ද? මෙන්න මේක තමයි පින්වතුනි ධර්මය දරාගෙන, ධර්මය විමසලා, ධර්මයේ හැසිරෙනවා කියන්නේ. ඉතින් මේකට විශේෂයෙන් වෙන් කරගත්ත වෙලාවක් අපිට අවශ්‍ය වෙන්නේ නෑ.

ඉදින් පහන් සිතින් යමක් කියන්නේ නම් හෝ කරන්නේ නම්

පින්වතුනි, උදේ ඉඳගෙනම රෑ නින්දට යනකම්ම අපේ චිත්ත සන්තානය දිහා බලමින්, චිත්ත සන්තානය දිහා විමසමින්, මම මේ ක්‍රියාව කරන්නේ කිලිටි හිතින්ද? මම මේ වචනය කතා කරන්නේ කිලිටි හිතින්ද? මම මේ ක්‍රියාව මේ වචනය සිද්ධ කරන්නේ අකුසල සහගත හිතකින්ද? කියලා විමසන්න බැයිද? පින්වතුනි පුළුවන්.

අර ධම්ම පදයේ යමක වග්ගයේ එන පලවෙනි, දෙවෙනි ගාථා දෙක මතකද?

මනෝපුබ්බංගමා ධම්මා - මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන - භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති - චක්කං’ව වහතෝ පදං

(වේදනාදි) චෛතසිකධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් කිලිටි සිතින් (මුසාවාදාදී චතුර්විධ වාග්දුශ්චරිතය) කියන්නේ නම් හෝ (ප්‍රාණඝාතාදී ත්‍රිවිධ කාය දුශ්චරිතය) කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් දුක ඔහු ලුහු බඳියි. ගොනු අනුව යන ගැල් සක මෙන්.

මනෝපුබ්බංගමා ධම්මා - මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පසන්නේන - භාසති වා කරෝති වා
තතෝ නං සුඛමන්වේති - ඡායා’ව අනපායිනී

(වේදනාදි චෛතසික) ධර්‍මයෝ සිත පෙරටු කොට ඇතියහ. සිත ශ්‍රේෂ්ඨ කොට ඇතියහ. සිතින් ම උපදනාහ. ඉදින් පහන් සිතින් යමක් කියන්නේ නම් හෝ කරන්නේ නම් හෝ ඒ හේතුවෙන් සැපය ඔහු කැටුව යෙයි. තමන් අත් නොහැර කැටුව යන සෙවණැල්ල මෙන්.

මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසති වා කරෝති වා, කියලා අර කිලිටි හිතින් යමක් කරනවද? යමක් කියනවද? ආන් හොයන්න පුළුවන්නේ පින්වතුනි. එහෙම කිලිටි හිතින් යමක් කියනවද? කරනවද? ඒක තමන්ට අනර්ථය පිණිස, දුක පිණිස පවතිනවා, කියලා දකින්නට පුළුවන් නේද? පින්වතුනි.

ඒ වගේම, මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසා චේ පසන්නේන භාසති වා කරෝති වා, තමන් මේ කියන දේ කරන දේ සිද්ධ කරන්නේ කුසල සහගත හිතකින්ද? පිරිසිදු හිතකින්ද? සංවර වෙච්ච හිතකින්ද? දමනය වෙච්ච හිතකින්ද? කියලා හොඳට හිතන්න, කල්පනා කරන්න පුළුවන් නේද? පින්වතුනි. එහෙම ඔබේ හිත පිරිසිදුව කියන, කරන දේ, ආන්න තමන්ට සැප පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ සඳහන් කරනවා.

සියලු ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාගේ සමස්ත අනුශාසනාවම බලන්නකෝ

ඒ නිසා පින්වතුනි, බලන්න ධර්ම ශ්‍රවණය තුළ ඔබ ඉස්සෙල්ලාම කරන්න ඕනේ, එහෙනම් කුසලය අකුසලය හඳුනාගන්න එකයි. ඉතින් කල්‍යාණ මිත්‍රයා මුණගැහිලා ඔබ ධර්මශ්‍රවණය කරනකොට, ධර්මශ්‍රවණය තුළ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා ඔබට පෙන්නන්නේ මෙන්න මෙහෙම කුසලය හඳුනගන්න කියලයි. මෙන්න මෙහෙම අකුසලය හඳුනගන්න කියලා. පින්වත්නි සියලු ලොව්තුරා බුදුරජාණන් වහන්සේලාගේ සමස්ත අනුශාසනාවම බලන්නකෝ,

සබ්බපාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝදපනං - ඒතං බුද්ධානුසාසනං

(ප්‍රාණවධාදි) සියලු අකුශලකර්‍ම නොකිරීම ද, (ගේ හැර පැවිදි වූ තැන් පටන් රහත් ඵලයට පැමිණෙන තැන් දක්වා) සියලු ලොවී ලොවුතුරා කුසල් ඉපැදැවීම ද, උපදවන ලද කුසලයේ වැඩීම ද, (පංච නීවරණ කෙරෙන්) තමාගේ සිත පිරිසිදු කිරීම ද, යන මේ සියල්ල සියලු බුදුවරයන්ගේ අනුශාසනයි (අවවාදයයි)

සබ්බපාපස්ස අකරණං, කුසලස්ස උපසම්පදා, සචිත්තපරියෝදපනං, ඒතං බුද්ධානුසාසනං, සියලු අකුසල් නොකිරීමද, කුසල් උපදවා ගැනීමද, හිත දමනය කිරීමද, මෙය තමයි කියනවා සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව.

ආරම්භක පියවර තමයි මේ විදිහට අකුසලය හඳුනා ගැනීම

එහෙනම් අපි අකුසල් නොකර ඉන්න නම්, අකුසලය අඳුනගන්න ඕනේ. එහෙම නම් කුසල් උපදවාගන්න නම්, කුසලය අඳුනගන්න ඕනේ. මෙහෙම අකුසලය කුසලය හඳුනා ගැනීම තුළ, අකුසලය දුරු කිරීම තුළ, කුසලය උපදවා ගැනීම තුළ, අපේ චිත්ත සන්තානය දමනය වෙන්නට පටන් ගන්නවා. මෙහෙම හිත දමනය වෙන්න, දමනය වෙන්න, පින්වතුනි අපේ හිත මේ දහම් මාර්ගයේ ඉතාමත්ම ඉක්මනින්, වේගයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන තැන දක්වාම වැඩෙන්නට ගන්නවා. ඉතින් ඒකේ ආරම්භය, ආරම්භක පියවර තමයි මේ විදිහට අකුසලය හඳුනා ගැනීම. මේ විදිහට කුසලය හඳුනා ගැනීම.

අකුසල ස්වභාවයට නැවත නැවත හිත යොමු කරනවා. ‘මේ අකුසලයයි’ කියලා මෙනෙහි කරමින්

  • එහෙනම් පින්වතුනි අකුසලය හඳුනගන්න නම්, කුසලය හඳුනගන්න නම්, ඔබට මොකක්ද කරන්න තියෙන්නේ? තමන්ගේ හිත පැත්ත බලන්න ඕනේ.
  • දැන් අපි ඇහුවනේ මුලින්ම කොහෙද මේ අකුසලය උපදින්නේ? කොහෙද මේ කුසලය උපදින්නේ? එතකොට දෙන්න ඕනේ උත්තරය තමයි, තමන්ගේ හිත තුළයි මේ කුසලය උපදින්නේ. තමන්ගේ හිත තුළයි මේ අකුසලය උපදින්නේ.
  • එතකොට පින්වතුනි කුසලය අකුසලය අඳුනගන්න නම්, තමන්ට සිද්ධ වෙනවා තමන්ගේ හිත පැත්ත බලන්න, කුසලය අකුසලය හඳුනා ගැනීමේ අදහසින්.
  • ආන්න එහෙම කුසලය අකුසලය හඳුනා ගැනීමේ අදහසින් තමන්ගේ හිත පැත්ත බලනකොට, පින්වතුනි තමන්ගේ චිත්ත සන්තානය දවනවා නම්, තවනවා නම් ඒ වගේම කිලිටි වෙලා නම්, අපිරිසිදු නම්, අසංවර නම්, දමනය වෙලා නැත්නම්, ඒ ස්වභාවයත් එක්ක ‘මේ අකුසලයයි’ කියලා අපි මොකද කරන්නේ? හඳුනගන්නවා, ලකුණු කරනවා.
  • එහෙම අඳුනගෙන ලකුණු කරගෙන, නැවත නැවත ඒ ස්වභාවය දිහා බලන ගමන්, ඒ ස්වභාවයට නැවත නැවත හිත යොමු කරනවා. ‘මේ අකුසලයයි’ කියලා මෙනෙහි කරනවා.
  • එහෙම මෙනෙහි කරමින් හිත යොමු කරලා, ඒ අකුසල සහගත ස්වභාවයෙහි තමන් හොඳට සිහිය පිහිටුවනවා.
  • එතකොට ඒ අකුසලය හටගත්ත හැටිත් එක්ක ඔබට ඒ වැඩෙන සිහිය නුවණ එක්ක දකින්නට පුළුවන්. ඒවා අපි ඉදිරි දේශනාවේදී දේශනා කරනවා.

කුසල ස්වභාවයට නැවත නැවත හිත යොමු කරනවා. ‘මේ කුසලයයි’ කියලා මෙනෙහි කරමින්

  • පින්වතුනි තමන්ගේ චිත්ත සන්තානය දවන්නේ නැති නම්, තවන්නේ නැති නම්, ඒ වගේම කිලිටි වෙලා නැති නම්, පිරිසිදු නම්, සංවර නම්, දමනය වෙලා නම්, ඒ ස්වභාවයත් එක්ක ‘මේ කුසලයයි’ කියලා අපි මොකද කරන්නේ? හඳුනගන්නවා, ලකුණු කරනවා.
  • එහෙම අඳුනගෙන ලකුණු කරගෙන, නැවත නැවත ඒ ස්වභාවය දිහා බලන ගමන්, ඒ ස්වභාවයට නැවත නැවත හිත යොමු කරනවා. ‘මේ කුසලයයි’ කියලා මෙනෙහි කරනවා.
  • එහෙම මෙනෙහි කරමින් හිත යොමු කරලා ඒ කුසල සහගත ස්වභාවයෙහි තමන් හොඳට සිහිය පිහිටුවනවා.
  • එතකොට ඒ කුසලය හටගත්ත හැටිත් එක්ක ඔබට ඒ වැඩෙන සිහිය නුවණ එක්ක දකින්නට පුළුවන්. ඒවා අපි ඉදිරි දේශනාවේදී දේශනා කරනවා.

නිවන් මගෙහි ගමන් කරන කෙනෙක් වෙනවා

එතකොට ඔබට අකුසලය දකින්නත් පුළුවන්, කුසලය දකින්නත් පුළුවන්. එහෙනම් පින්වතුනි මෙන්න මේ අභ්‍යාසය ඔබ නිතර නිතර නැවත නැවත සිද්ධ කරන්නට ඕනේ. ඒ සිද්ධ කිරීම තුළ ඔබට අකුසලය හඳුනගන්නත් පුළුවන් වෙනවා. කුසලය අඳුනගන්නත් පුළුවන් වෙනවා. මෙහෙම ඔබ අකුසලය අඳුනා ගැනීම තුළ අකුසලය ඔබ දුරු කරන්නට පටන් ගත්ත කෙනෙක් වෙනවා. කුසලය අඳුනගත්ත තැන කුසලය පවත්වාගෙන යන්නට උත්සාහ කරන කෙනෙක් වෙනවා.

ඉතින් අපි ඔබට පෙර දේශනාවේදී කිව්වා, ඔබ දවස ගානේ දිනපතා පුළුවන් නම්, ගත වෙන මොහොතක් මොහොතක්, විනාඩියක් විනාඩියක් පාසා, පැයක් පැයක් පාසා, මේ නිවන් මග පුරුදු කරන කෙනෙක් වෙන්නට ඕනේ කියලා. මේ විදිහට ඔබේ චිත්ත සන්තානය බලන මොහොතක් මොහොතක් පාසා, කුසලය අකුසලය අඳුනගන්න මොහොතක් මොහොතක් පාසා, නිවන් මග තුළ නිවන් මග පුරුදු කරන කෙනෙක් භාවයට ඔබ පත්වෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි ඔබ මේ දේශනාව හොඳින් ශ්‍රවණය කරා, ශ්‍රවණය කරලා මේ කියන ආකාරය හොඳට හිතට ඇරගෙන කල්පනා කරගෙන, මේ ධර්මය තුළ කිව්ව ආකාරයට තමන් නිරන්තරයෙන්ම තමන්ගේ පැත්ත, තමන්ගේ හිත පැත්ත බලන කෙනෙක් වෙන්නට අවශ්‍යයි.

තමන්ගේ පැත්ත බලන්න බලන්න, තමන්ගේ හිත පැත්ත බලන්න බලන්න, අන්න තමන්ට ධර්මය අඳුනගන්න පුළුවන් වෙනවා. ධර්මය දකින්න පුළුවන් වෙනවා. ධර්මය තුළ මනා ලෙස අඩුපාඩු නිවැරදි කරගත්ත කෙනෙක් වෙනවා. ඒ වගේම නිවන් මගෙහි ගමන් කරන කෙනෙක් වෙනවා. ඉතින් ඒ නිසා මේ දේශනාව ශ්‍රවණය කරපු ඔබ ඒ විදිහට තමන්ගේ හිත පැත්ත බලන්න. තමන්ගේ හිත පැත්ත බලලා කුසලය අකුසලය ලකුණු කරගන්න. එහෙම කුසලය අකුසලය ලකුණු කරගෙන ඒ කුසලය අකුසලයට හිත යොමු කරලා සිහිය පිහිටවන්න.

මේ පින්වත් හැම දෙනාටම තෙරුවන් සරණයි!

ඉතින් ඒ නිසා පින්වතුනි, අපි ඔබට ඒ කාරණාව මේ දේශනාව තුළ මේ ආකාරයෙන් සඳහන් කරලා මේ දේශනාව මෙතනින් නවත්තන්න, සමාප්ත කරන්න, නිමා කරන්න, බලාපොරොත්තු වෙනවා. ඊළඟ දේශනාවේදී පින්වතුනි, එතකොට අපිට තියෙන්නේ, දැන් අපි මේ දේශනා මාලාවක් මෙතෙක් සිද්ධ කරගෙන ආවා. පෙර පින් තිබිය යුතුයි. කල්‍යාණ මිත්‍රයෝ ඒ පෙර පින ප්‍රත්‍ය කරගෙන සොයාගත යුතුයි. ඊට පස්සේ කල්‍යාණ මිත්‍රයාගෙන් ධර්මශ්‍රවණය කළ යුතුයි. ධර්මශ්‍රවණය තුළ කුසලය අකුසලය අඳුනගත යුතුයි කියන තැනට, මේ වෙනකොට දේශනා මාලාවේ දේශනාව අරගෙන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ පින්වතුනි කුසලය අකුසලය හඳුනා ගැනීම ප්‍රත්‍ය කරගෙන ‘ඔබ කුසල මූලයන් අකුසල මූලයන් අඳුනාගත යුතුයි’ කියන ඊළඟ මාතෘකාව ඔස්සේ ඊළඟ දිනේදී අපි ඔබට ඒ දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා.

ඉතින් මේ ධර්මශ්‍රවණය කළ මේ පින මේ පින්වත් හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම අමාමහ නිවන් සුවෙන් සැනසීම පිණිසම හේතු වේවා! වාසනා වේවා! උතුම් පාරමිතා ධර්මයක්ම වේවා! කියලා ප්‍රාර්ථනා කරමින් දේශනාව නිමා කරනවා.

🙏 මේ පින්වත් හැම දෙනාටම තෙරුවන් සරණයි! 🙏
ධර්මදානය පිණිස පහත buttons මගින් සමාජජාලා ඔස්සේ බෙදාහරින්න
ඕඝතරණ දහම් සංග්‍රහය | oghatharana.com

පූජ්‍ය කොළඹගම ධම්මදීප ස්වාමීන්වහන්සේ හා පුජ්‍යපාද දූල්වල යසස්සී ස්වාමීන්වහන්සේ විසින් සංසාර දුකින් අත්මිදීමට වෙර දරන උත්මතම උත්මාවන් උදෙසො පිදෙන ධර්ම දානයකි.

Post a Comment

ඔබගේ අදහස් පහතින් දක්වන්න.

Previous Post Next Post