Test

ඕඝතරණ මාර්ගය දේශනා 01
ඕඝතරණ මාර්ගය දේශනා 01 – හැඳින්වීම
🪷 දේශකයාණන් වහන්සේ: පූජ්‍ය කොළඹගම ධම්මදීප ස්වාමීන් වහන්සේ
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

ඒ භාග්‍යවත් වු අර්හත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි! මාගේ නමස්කාරය වේවා!

අද දවසේ සිට ඔබට මේ විදිහට ශ්‍රවණය කරන්නට පුළුවන් ඕඝතරණ දහම් සංග්‍රහය යූටියුබ් නාලිකාව ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික බෞද්ධ පින්වත්නි, මේ පින්වතුන් අපිට ආරාධනා කරන්නට යෙදුනා, අපි පොහොය දිනවල, ඒ වගේම භාවනා වැඩසටහන් වල සිද්ධ කරන ඒ ධර්ම දේශනාවන් ඕඝතරණ දහම් සංග්‍රහය යූටියුබ් නාලිකාව ඔස්සේ අපිට ශ්‍රවණය කරන්නට අවස්ථාව සකස් කරලා දෙන්න කියලා.

ඉතින් අපිටත් ඇත්තටම උවමනාවක් තිබ්බා, ඒ පොහොය වැඩසටහන් වල, භාවනා වැඩසටහන් වල, සිද්ධ කරන ඒ ධර්ම දේශනාවන් ඕඝතරණ දහම් සංග්‍රහය යූටියුබ් නාලිකාව ඔස්සේ මේ විදිහට ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසලා දෙන්නට ඕනී කියලා. නමුත් අපි ඒ සඳහා පුංචි කාලයක් ලබාගන්නට යෙදුනා. මොකද ඒකට අවශ්‍ය කරන සම්පත් අපි ළඟ තිබුනේ නැති නිසා. ඒ සම්පත් අපි සොයාගෙන ඔබට මේ විදියට අද දවසේ ඒ භාවනා වැඩසටහන් වල, පොහොය වැඩසටහන් වල, එක දිගට සිද්ධ කරන ඒ වැඩසටහන් පෙළගැස්ම ඕඝතරණ දහම් සංග්‍රහය යූටියුබ් නාලිකාව හරහා අද දවසේ සිට ඔබට මේ විදිහට ශ්‍රවණය කරන්නට පුළුවන්.

ඉතින් අපි අද එයට ප්‍රවේශයක් ලබාගැනීම උදෙසා කරන අනුශාසනාව තමයි මේ පින්වතුන් මේ ශ්‍රවණය කරන්න සුදානම් වෙන්නේ. ඉතින් අපි බලාපොරාත්තු වෙනවා අද දවස තුළ මේ විදිහට ඕඝතරණ සංවිධානය පිළිබඳවත්, ඒ වගේම ඕඝතරණ වනසෙනසුන පිළිඳවත්, ඒ වගේම මේ ධර්ම දේශනා මාලාව පිළිබඳවත් මේ පින්වත් ඇත්තන්ට කෙටියෙන් හඳුන්වා දෙන්නට.

ඕඝතරණ සංවිධානය කියන්නේ

අපි පලමුව ඕඝතරණ සංවිධානය පිලිබඳව ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තුවෙනවා. ඕඝතරණ සංවිධානය අපි ආරම්භ කරන්නට යෙදුනේ 2017 වර්ෂයේ. 2017 වර්ෂයේ ඉඳන්ම මේ දක්වාම අපි ඔබට ඕඝතරණ සංවිධානය ඔස්සේ නොයෙකුත් ධර්ම දේශනාවන්, ඒ වගේම නොයෙකුත් පින්කම්, ඒ වගේම මේ පින්වත් ඇත්තන්ට දාන, ශීල, භාවනා ආදී වශයෙන් ගුණධර්ම පූරණය කරගන්න, කුසල් රැස් කරගන්න, අවශ්‍ය කරන පසුබිම සකස් කරලා දෙමින් සංවිධානයක් හැටියට ක්‍රියාත්මක වුණා.

පින්වත්නි, අපි මේ ඕඝතරණ සංවිධානය ආරම්භ කරන්නට යෙදීමේ ප්‍රධාන අරමුණ තමයි, සංසාර දුකින් අතමිදීමට වෙර දරන ඒ උත්තම උත්තමාවියන් උදෙසා අපගේ ශක්ති ප්‍රමාණයෙන් අනුග්‍රහ කිරීම. එය අරමුණු කරගෙන ඒ සඳහා පෙළගැහිච්ච මේ සංවිධානය අද වෙනකාට දිනෙන් දින ඒ සංවිධානයේ අරමුණු එකිනෙක ඉටු කරගනිමින් ඉදිරියට යමින් සිටිනවා. මේ තවත් ඒ වෙනුවෙන් තබන ඉදිරි පියවරක් හැටියටයි අප සංවිධානය මේ විදිහට, ඕඝතරණ දහම් සංග්‍රහය යූටියුබ් නාලිකාව ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන මේ පින්වතුන්ට, එයට අවශ්‍ය කරන වටපිටාව පරිසරය සකස් කරලා දෙන්නට යෙදෙන්නේ.

අපි ඕඝතරණ සංවිධානය හැටියට පා තබපු ඉදිරි පියවර

ඉතින් මේ වෙනකාට ඕඝතරණ සංවිධානය හරහා මේ පින්වත් ඇත්තන්ට පොහොය දින වැඩසටහන්, ඒ වගේම නොයෙකුත් වෙහෙර විහාරස්ථාන වල භාවනා වැඩසටහන් සිද්ධ කරනවා. ඒ වගේම දහම් පොත්පත් විශාල ප්‍රමාණයක් මේ පින්වත් ඇත්තන්ගේ අතට ලබාදීලා තියෙනවා. මේ පින්වතුන්ට ඒ පොත් කියවමින් පිරිසිදු දහම් දැනුමක් ලබාගන්නට පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම ඕඝතරණ සංවිධානය හරහා මේ පින්වතුන්ට මේ වෙනකොට වාර්ෂික මහා සෑ වන්දනාවක් සිද්ධ කර දෙමින්, ශ්‍රී ලංකාවේ වගේම විදේශීය වශයෙන් අපට උදව් උපකාර කරන සියලුම පින්වතුන් උදව් උපකාර කරගෙන ඒ මහා සෑ වන්දනාව සිද්ධ කරලා දෙනවා.

ඒ වගේම ඕඝතරණ සංවිධානය ඔස්සේ නොයෙකුත් දුෂ්කර ආරණ්‍ය සේනාසන වලට අවශ්‍ය කරන, ඒ සිව්පස ප්‍රත්‍ය පහසුකම් ලබාදෙන්නට ද යෙදෙනවා. ඒ වගේම පින්වතුනි, ඕඝතරණ සංවිධානය මගින් අපි තවදුරටත් පිරිවෙන් අධ්‍යාපනයට ලබන ඒ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන දහම් පොත්පත් ඇතුලු අවශ්‍ය කරන ලිපිද්‍රව්‍ය මේ වනවිට ලබාදෙන්නටත් යෙදෙනවා. ඒ වගේම විවේකීයව වැඩ වාසය කරමින් සිටින ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන කුටි සෙනසුන් සකස් කරදීම ද, ඒවායේ අඩුපාඩු සකස් කරදීම් ආදී වැඩ කටයුතු ද සිද්ධ කරන්නට යෙදෙනවා.

ඉතින් ඕඝතරණ දහම් සංග්‍රහය යූටියුබ් නාලිකාව ඔස්සේ, ඕඝතරණ සංවිධානය තුලින් අපි මේ පින්වතුන්ට මෙවැනි වැඩසටහන් මාලාවක් සිංහල භාෂාවෙන්, ඒ වගේම ඉංග්‍රීසි භාෂාව, ඒ වගේම දෙමළ භාෂාවෙන් කියන භාෂා ත්‍රිත්වයෙන්ම ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවෙන් සිටියා. ඒ ධර්ම දේශනා මාලාව ඔබට දැන් ශ්‍රවනය කරන්න මේ විදිහට පුලුවන් වෙනවා. ඉතින් ඒක තමයි මේ 2026 වර්ෂයේදී අපි ඕඝතරණ සංවිධානය හැටියට පා තබපු ඉදිරි පියවර.

ඕඝතරණ වනසෙනසුන කියන්නේ

ඊලගට ඕඝතරණ වනසෙනසුන පිලිබඳව අපි ඔබව දැනුවත් කරන්නට බලාපොරොත්තුවෙනවා. මේ ඕඝතරණ සංවිධානය මගින් මේ ධර්ම දේශනා මාලාව මේ විදිහට පටිගත කිරීමට ආරම්භ කරන්නේ ඕඝතරණ වන සෙනසුනේ ඉඳගෙනයි. මේ ඕඝතරණ වන සෙනසුන ඉදිකිරීමට අපිට මේ භූමිය පූජා කරන්නට යෙදුනේ ගම්පහ කීර්ති මහත්මයා. ඉතින් ඒ මහත්මයා මේ ස්ථානය අපිට පූජා කළාට පස්සේ අපි ඉතාමත්ම ඉක්මනින් ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන මේ කුටි සෙනසුන්, ඒ වගේම ගල්ලෙන් ටික පිළියෙල කරලා සකස් කරලා, ඕඝතරණ වන සෙනසුන මේ වෙනකොට අවුරුදු තුනකට ආසන්න කාලයක් තුල ඉදිකර අවසන් කරලා තියෙනවා.

දැන් ඕඝතරණ වනසෙනසුනෙහි ස්වාමීන් වහන්සේලා කිහිප නමක්ම වැඩ ඉන්නවා. ඉතින් මේ විදිහට මේ ඕඝතරණ වන සෙනසුන ආරම්භ වීම නිසා අපිට මේ ඕඝතරණ වනසෙනසුනේ සිට මෙවැනි වැඩසටහන් මාලාවක් ඕඝතරණ සංවිධානය ඔස්සේ මෙලෙස ඔබ වෙත ගෙන එන්නට පුලුවන් වෙලා තියෙනවා.

ඕඝතරණ මාර්ගය කියන්නේ

ඉතින් අපි මේ වැඩසටහන් මාලාවට ප්‍රවේශයක් ගනිමින්, අපි ඕඝතරණ සංවිධානය පිළිබඳව, ඕඝතරණ වන සෙනසුන පිළිබඳව විස්තර කරන්නට යෙදුනා. දැන් අපි සූදානම් වෙන්නේ මේ වැඩසටහන් මාලාවට නමක් ඉදිරිපත් කිරීමටයි. අපි අද දවසේ මේ පින්වත් ඇත්තන්ට ඉදිරිපත් කරනවා මේ වැඩසටහන් මාලාවේ නම හැටියට ‘ඕඝතරණ මාර්ගය’ කියලා. ඉදිරියේදී මේ දේශනා මාලාව ඔබට එහෙම ඕඝතරණ මාර්ගය නමින් නම් කරලා දේශනා අංක එක, දේශනා අංක දෙක ආදී වශයෙන් මාතෘකා තබමින් ඉදිරිපත් කරන්නම්.

ඉතින් ඇත්තටම මේ ‘ඕඝය’ කියලා කියන්නේ මොකද්ද? අපි මේ ‘ඕඝතරණ සංවිධානය’ කියලා, ඒ වගේම ‘ඕඝතරණ වන සෙනසුන’ කියලා, ඒ වගේම මේ වැඩසටහන් මාලාවට ‘ඕඝතරණ මාර්ගය’ කියලා නම් කිරීමට හේතුවක් තියෙනවා. ඒක දැනගන්න නම් ‘ඕඝය’ කියන වචනයේ තේරුම දැනගන්න ඕනි.

ඉතින් ඇත්තටම මේ ‘ඕඝය’ කියලා සඳහන් කරන්නේ සැඩ පහරට. සැඩ පහරට කියන නමක් තමයි ‘ඕඝය’ කියලා කියන්නේ. මේ පින්වතුන්ට දකින්නට පුළුවනි සැඩ පහරක් කියන්නේ ඉහළ ඉදන් මහා වේගයෙන් පහලට ගහගෙන යන දියදහරක්. ඒ දිය පාරට යමක් හසු වුනොත් ඒ දිය ධාරාව ගලන දිසාවටම, අරගෙන යනවා. ඉතින් ඒ වගේ තමයි පින්වතුනි මේ සංසාර සාගරය නැමැති මහ මුහුදට නැවත නැවත අපිව එකතු කරන නිසා, කාම ඕඝය, දිට්ඨි ඕඝය, භව ඕඝය, අවිද්‍යා ඕඝය කියන මෙන්න මේවා සැඩ පහරවල් හතරක් හැටියට බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ සඳහන් කරනවා.

මේ සසරෙන් එතෙර වෙන්නට ඕනනම්

මේ කාම ඕඝය, මේ කාම තණ්හාව නැමැති සැඩ පහරට හසුවීම නිසා අපි මේ නැවත නැවත සසරේ උපදිනවා. භව ඕඝය, මේ භව තණ්හාව නැමැති සැඩ පහරට හසුවීම නිසා අපි මේ නැවත නැවත සසරේ උපදිනවා. දිට්ඨි ඕඝය, මේ දිට්ඨි කෙරෙහි තියෙන තණ්හාව නැමැති සැඩ පහරට හසුවීම නිසා අපි මේ නැවත නැවත සසරේ උපදිනවා. අවිද්‍යා ඕඝය, මේ අවිද්‍යාව නැමැති සැඩ පහරට හසුවීම නිසා අපි මේ නැවත නැවත සසරේ උපදිනවා.

ඉතින් පින්වතුනි යම්කිසි කෙනෙකුට මේ සසරෙන් එතෙර වෙන්නට ඕනිනම් මේ කාම තණ්හාව නැමැති සැඩ පහර තරණය කරන්නට වෙනවා. මේ භව තණ්හාව නැමැති සැඩ පහර, දිට්ඨි කෙරෙහි තියන තණ්හාව නැමැති සැඩ පහර, සහ අවිද්‍යාව නැමැති සැඩ පහර තරණය කරන්නට වෙනවා. ආන්න එහෙම යම්කිසි කෙනෙක් මේ කරුණු කාරණා හතරට හසු නොවෙනවා නම් මේ සසරෙන් එතෙර වෙනවා.

මේ සැඩ පහරවල් වලට හසුවීමෙන් එතෙර වෙන්නට නම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කල ශ්‍රී සද්ධර්මය හොඳින් ශ්‍රවණය කරන්න වෙනවා. ඒ ශ්‍රවණය කරන ශ්‍රී සද්ධර්මය හොඳින් දරාගන්නට වෙනවා. ඒ වගේම ඒ ශ්‍රී සද්ධර්මය හොඳින් දරාගෙන ඊට අනුරූපීව ඔබ කටයුතු කරන්න වෙනවා. එතකොට ආන්න අර තණ්හාව සහ අවිද්‍යාව නැමති සැඩ පහරවල් වලට හසුනොවී, ඔබට ගමන් කරන්නට පුළුවන් වෙනවා. ඒ කියන්නේ පින්වතුනි, මේ චිත්ත සන්තානය තුළින් ඒවා දුරුවෙන කොට, අන්න නැවත නැවත සසර දික් වෙන්නේ නෑ. සසර තරණය කරනවා.

මේ සසරට හසුනොවී, මේ සසර තරණය කරන වැඩ පිළිවෙල

මේ පින්වතුන්ට, සැඩ පහරක් කියන්නේ වේගයෙන් පහළට ගලාගෙන යන දියපහරකටයි කියලා කිව්වානේ. ඉතිං මේ සැඩ පහර තරණය කරනවා කියන්නේ, ඒ සැඩ පහරට ප්‍රතිවිරුද්ධව උඩුගම් බලා යනවා කියන ක්‍රියාවයි. ඉතින් පින්වතුනි, මෙන්න මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මුළු ශ්‍රී සද්ධර්මයම, සමස්ත දේශනාව තුළම තියෙන්නේ, මේ සසරට හසුනොවී, මේ සසර තරණය කරන වැඩ පිළිවෙල තමයි.

ඒ සඳහා මේ පින්වතුන්ට, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දීලා තියන වැඩ පිළිවල තමයි දාන සීල භාවනා, කියන ගුණ පූරණය කරගැනීම සහ සීල සමාධි ප්‍රඥා කියන ගුණ පූරණය කරගැනීම. ඉතින් යම්කිසි කෙනෙක් මේවා පූරණය කරන කෙනෙක් වෙනවා නම්, අන්න එයා මේ සසර තරණය කරන කෙනෙක්. මේ ඕඝය තරණය කරන කෙනෙක් වෙනවා.

අපිට උදව් උපකාර කරපු සම්පත් දායකයින්

මේ පින්වතුන්ට, අපි තව එක චූටි කාරණාවක් මෙතනදි තව ඉදිරිපත් කරනවා. අපිට මෙවැනි ධර්ම දානමය උතුම් පින්කමක් සිද්ධ කරගන්නට පුළුවන් වුණේ සම්පත් දායකයන්ගෙන් ලැබිච්ච උදව් උපකාර නිසා. ඉතින් අපිට මේ සම්පත් ලබා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වය දක්වන්නට යෙදුනේ දංගල්ලේ සුරේනි අනුරංගිකා අක්කා (කැමරාව සදහා) සහ කෝට්ටේ තුසිත මහත්මා (පරිඝණක සදහා).

ඒ වගේම තිසර ලක්මාල් මහත්මා, අජිත් රණසිංහ මහත්මා, වජිරා අබේකෝන් මහත්මිය, ගුරුගේ අම්මා, එරංග මහත්මා, අතුරුගිරියේ සමන් මහත්මා, අපේ නංගි, සමන් අයියා, තාත්තා ඇතුලු පිරිස, කසුන් චමෝද් මල්ලී, ඒ වගේම ඕඝතරණ සංවිධානයේ සාමාජිකයන් විසින් ලබාදෙන සාමාජික මුදල් අපි මේ සම්පත් ලබාගැනීම සඳහා යොදවන්නට යෙදුනා.

ඒ වගේම අපිට මේ උපකරණ මිලදී ගැනීමේදී උදව් කරන්න යෙදුනා චාල්ස් ද සිල්වා අයියා. එතුමා තමයි සියලු තාක්ෂණික දායකත්වය ලබාදුන්නේ. ඒ වගේම අපිට නදීර අයියා, ජනිත් අයියා මේ සඳහා උදව් උපකාර කරන්නට යෙදෙනවා. ඒ වගේම එදා මෙදා තුර අපිට මේ වන සෙනසුන ඉදිවෙච්ච දවසේ ඉඳන් දන් පැන් පූජා කරමින් සිව්පසයෙන් සලකන පින්වතුන්, මේ ඕඝතරණ වන සෙනසුන ඉදිකරන්න උදව් කරපු හැමදෙනාමත් සිහිපත් කරනවා.

ඒ වගේම අපිව මේ ශාසනයට දායාද කරපු ඒ ගෞරවනීය යතිවරයන් වහන්සේලා, ගරු කටයුතු අපගේ ගුරුදේවෝත්තමයන් වහන්සේ වරක් ප්‍රමුඛ ඒ මහා සංඝ රත්නය සිහිපත් කරනවා. ඒ වගේම අප ආරණ්‍ය සේනාසනයේ වැඩසිටින උදිතබෝධි ස්වාමීන් වහන්සේත් සිහිපත් කරනවා.

මේ පින්වත් හැමදෙනාටම තෙරුවන් සරණයි!

ඉතින් මේ පින්වත් හැමදෙනාටම අපි ආරාධනා කරනවා, මතක් කරනවා, මේ ඕඝතරණ මාර්ගය නැමැති ධර්ම දේශනා මාලාව සමඟ සම්බන්ධ වෙලා මේ ධර්මය ශ්‍රවණය කරන්න. මේ ධර්මය මනාකොට නුවණින් මෙනෙහි කරන්න. මෙයින් ගතයුතු යමක් ඔබගේ ජීවිතයට අරගෙන, ඊට අනුරූපීව ඔබ ධර්මය තුළ හැසිරෙන්න. එහෙම හැසිරෙනකොට අන්න ඔබට මේ සසර තරණය කරන්නට, සසර කෙළවර කරන්නට, දුකින් නිදහස් වෙන්නට මග සැලසේවි.

ඉතින් එයට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වාසනාව, ඉඩමග ප්‍රස්ථාව මේ පින්වත් හැමදෙනාටම උතුම් තුනුරුවනේ ආශිර්වාදයෙන් සැලසේවා! කියලා ප්‍රාර්ථනා කරමින් මේ ප්‍රවේශයක් ලබාගැනීම උදෙසා සිදු කළ අනුශාසනාව අවසන් කරනවා. මේ පින්වත් හැමදෙනාටම තෙරුවන් සරණයි!

ධර්මදානය පිණිස පහත buttons මගින් සමාජජාලා ඔස්සේ බෙදාහරින්න
ඕඝතරණ දහම් සංග්‍රහය | oghatharana.com

පූජ්‍ය කොළඹගම ධම්මදීප ස්වාමීන්වහන්සේ හා පුජ්‍යපාද දූල්වල යසස්සී ස්වාමීන්වහන්සේ විසින් සංසාර දුකින් අත්මිදීමට වෙර දරන උත්මතම උත්මාවන් උදෙසො පිදෙන ධර්ම දානයකි.

Post a Comment

ඔබගේ අදහස් පහතින් දක්වන්න.

Previous Post Next Post