නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
ඒ භාග්‍යවත් වු අර්හත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි! මාගේ නමස්කාරය වේවා!
ඉතින් අද දවසේ එහි පස්වෙනි දේශනාව තමයි මේ
ඕඝතරණ දහම් සංග්‍රහය යූටියුබ් නාලිකාව ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික බෞද්ධ පින්වත්නි, මේ පින්වතුන් සූදානම් වෙන්නේ අද තවත් එක් ධර්ම දේශනාවක් සමඟින් අපත් සමග එක්වන්නටයි. ඉතින් අද දවසේ එහි පස්වෙනි දේශනාව තමයි මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ.
පින් තියෙන අයට දුර්ලභ දේවල් ලැබෙනවා
ඉතින් අපි පෙර දේශනාවේදී මේ පින්වත් ඇත්තන්ට සඳහන් කරන්න යෙදුනා පෙර පින ප්‍රත්‍ය කරගෙන අපිට ලැබෙන දේවල් පිළිබඳව. පින් තියෙන අයට අපි සඳහන් කළා දුර්ලභ දේවල් ලැබෙනවා කියලා. දුර්ලභ දේවල් ලැබෙනවා කියන්නේ අනිත් පැත්තට සඳහන් කළා පින් තියෙනවා කියලා. ඉතින් දුර්ලභ දේවල් හැටියට බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ සඳහන් කළේ,
- බුද්ධප්පාදය දුර්ලභයි කියලායි.
- මනුස්සාත්මභාව පටිලාභය දුර්ලභයි කියලායි.
- ශ්‍රද්ධා සම්පත්තිය දුර්ලභයි කියලායි.
- පැවිද්ද දුර්ලභයි කියලායි.
- ශ්‍රද්ධර්මශ්‍රවණය දුර්ලභයි කියලායි.
ඉතිං මේ දේවල් අපිට ලැබුණේ පෙර සංසාරේ අපි කරගත්ත නොයෙකුත් බුද්ධ උපස්ථානාදී, දානශීල භාවනාදී වශයෙන් සිද්ධ කරගන්නට යෙදුන පින් නිසා කුසල ධර්මයන් නිසා කියලා සඳහන් කරන්න යෙදුනා. ඒ තැන්වලදී ඒ දේවල් කරලා අපි ප්‍රාර්ථනා කළේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඉක්මනින්ම සුවසේ අවබෝධ කරගෙන, මේ ඝෝර කටුක භයානක සසරෙන් නිදහස් වෙන්න ලැබේවා! කියලා. ඉතින් ආන්න ඒ ප්‍රාර්ථනාවෙන් පින් කරපු අපිට, අර කියන දුර්ලභ කාරණා ලැබිලා තියෙනවා කියලා සඳහන් කළා.
ඉතින් ඔන්න ඔය දේවල් අපිට ලැබුනේ නිවන් දකින්නටයි. දැන් අපිට ඔය දේවල් ලැබිලා තියෙනවා, නමුත් නිවන් දකින්න ඕන කියන උවමනාව,නිවන් දකින්න ඕනි කියන අවශ්‍යතාවය, මේ ජීවිතය තුළ අතහැරිලා තියෙනවා කියලා අපි සඳහන් කළා. එහෙම සඳහන් කරලා අපි මේ මනුස්ස ජීවිතයේදී ඔබ නිවන් දකින්නටයි ආවේ, ඇවිල්ලා තියෙන්නේ,මෙන්න මෙහෙමයි ඔබ පෙර සංසාරේ හිතුවේ, කල්පනා කළේ, හිතලා කල්පනා කරලා, ආපු ආකාරයට ඔබට මේ නිවන් දකින්නට අවශ්‍ය දේවල් දැන් ලැබිලා තියෙනවා. ඔබ මෙන්න මේ කාරණා මේ විදිහට විමසලා දුකින් නිදහස් වෙන්නට කටයුතු කරන්න ඕනි කියලා සඳහන් කළා.
පෙර බුද්ධ ශාසන වල අපි ඒ අවස්ථාව අතහැරගෙනයි තියෙන්නේ
මොකද අපි සඳහන් කළා බුද්ධුප්පාදයක් ලැබෙන්නේ නැතුව, මේ මනුස්සාත්මභාව පටිලාභය අපිට නොලැබිලා යන්න, ඒ වගේම ශ්‍රද්ධාව, ඒ වගේම පින්වතුනි පැවිද්ද, ධර්ම ශ්‍රවණය කියන මෙන්න මේ කාරණා නොලැබිලා ගියොත් අපිට අපේ ජීවිතයේ මේ බුද්ධ ශාසනය තුළ නිවන් දකින්න තියෙන අවස්ථාව ගිලිහිලා යනවා. ඉතින් ඒ නිසා ඒ අවස්ථාව අපිට මේ ජීවිතය අතහැරගන්න හොඳ නැහැ. පෙර බුද්ධ ශාසන වල අපි ඒ අවස්ථාව අතහැරගෙනයි තියෙන්නේ කියලා සඳහන් කළා. මේ අවස්ථාවත් අපිට නොලැබිලා ගියොත් පින්වතුනි ආයෙත් සංසාරයේ තව බුද්ධ ශාසනයක් මේ විදිහටම මේ කාරණා සමග ලැබෙන්නට වෙනවා කියලා අපි සඳහන් කරන්නට යෙදෙනවා.
ඉතින් හිතන්න පින්වතුනි කල්පනා කරන්නට අපි එතනදී ඔබට සඳහන් කරන්නට යෙදුනේ මේ බුද්ධ ශාසනයේ නිවන් දැකපු අයට නිවන් දකින්නට ඔන්න ඔය කාරණා තමයි උදව් වුණේ, උපකාර වුණේ, ප්‍රත්‍ය වුණේ කිව්වා. රන්රිදී මුතු මැණික් මිල මුදල් ගේදොර වතුපිටි මේවා දුර්ලභයි කියලා හිතුවට මේවායින් පින්වතුනි, අපිට ජාති ජරා ව්‍යාධි මරණ ආදී ධර්මයන්ගෙන් නිදහස් වෙන්න බැහැ කියන කාරණාව සඳහන් කරන්න යෙදුනා. ඒ වගේම පින්වතුනි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඕනී නම් ඔන්න ඔය කියන දුර්ලභ කාරණා අපි අපේ ජීවිතයේ ප්‍රත්‍ය හැටියට සපුරාගෙන තියෙන්න ඕනි කියන කාරණාව අපි සිහිපත් කරනවා. ඉතින් ඔන්න පින්වතුනි ප්‍රාර්ථනා කරලා අපිට පෙර සංසාරේ ඉඳන් රැස් කරපු පිනට ප්‍රාර්ථනාවෙන් එන්න පුළුවන් දුර තමයි ඔය ඇවිත් තියෙන්නේ. බුද්ධ ශාසනයක් ලැබෙන එක, මනුස්සාත්මභාව පටිලාභයක් ලැබෙන එක, ශ්‍රද්ධා සම්පත්තිය ලැබෙන එක,පැවිද්ද ලැබෙන එක, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙන එක. ඔන්න ඔය දේවල් ප්‍රත්‍ය කරගෙනයි මේ බුද්ධ ශාසනයේ පින්වතුනි,අපි සඳහන් කළා යම්කිසි කෙනෙක් නිවන් දකිනවානම් නිවන් දැක්කේ කියලා.
කල්‍යාණ මිත්‍රයෝ හොයලා තියෙනවද?
ඊළඟට පින්වතුනි, අපි සඳහන් කළා පෙර පිනෙන් ප්‍රාර්ථනාවෙන්,ඕවා ලැබිච්ච අය ඊළඟට කුමක්ද කළේ කියන කාරණාව හොයන්න ඕනි විමසන්න ඕනි කියලා. පින්වතුනි ඔන්න ඔය දේවල් ලැබිච්ච අය හොඳට බලන්න කල්‍යාණ මිත්‍රයෝ හොයාගෙන ගියා. උපතිස්ස කෝලිත දෙදෙන බලන්න, ඒ අය මොකද කළේ?කල්‍යාණ මිත්‍රයෝ හොයාගෙන ගියා. ඒ වගේම පින්වතුනි තවත් මේ සංසාරයේ ඒ කියන පෙරපින ප්‍රත්‍ය කරගත්ත අය කල්‍යාණ මිත්‍රයෝ හොයාගෙන යන්නට යෙදුනා.
ඉතින් පින්වතුනි ඔබ අපි හැමදෙනාම හිතලා බලන්න කල්පනා කරලා බලන්න අපි හොඳ යාළුවෝ හෙව්වා, පුංචි කාලේ හොඳ ගුරුවරු හෙව්වා,හොඳ ඇඳුම් පැළඳුම් හෙව්වා. ඒ වගේම හොඳ යානවාහන හෙව්වා. හැබැයි පින්වතුනි අපි හොයලා තියෙනවද? කල්‍යාණ මිත්‍රයෙක් මට ඇසුරු කරන්න ඕනී කියලා. කල්‍යාණ මිත්‍රයෝ හොයලා තියෙනවද? හොඳට හිතලා බලන්න කල්පනා කරලා බලන්න, එහෙම හොයලා නෑ. එහෙම අවශ්‍යතාවයක් අපිට දැනිලා නැහැ. කල්‍යාණ මිත්‍රයා කියන්නේ කවුද කියලා කියවා ගැනීමක් අපි තුළ නැහැ පින්වතුනි. ඒ නිසා ඒ කල්‍යාණ මිත්‍ර සේවනය පෙර පින් ප්‍රත්‍ය කරගෙන නොලැබිලා ගියොත්, අන්න අපිට පින්වතුනි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නෑ පින්වතුනි.
බුදුරජාණන් වහන්සේ පරම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ වෙනවා
දැන් බලන්න පස්වග මහණුන්ට ඉසිපතනයේ මිගදායේ දී බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අන්න දහම් චක්‍රය පෙරලා හරිද්දී, එතනදී පින්වත්නි, ඒ දහම් අහපු කොණ්ඩඤ්ඤ භික්ෂූන් වහන්සේට, තවුසානන්ට,ධර්මය අවබෝධ වෙන්නට යෙදුනා. පින්වතුනි ඉස්සෙල්ලාම එහෙනම් අපි කල්‍යාණ මිත්‍රයා කියන්නේ කවුද? කියන එක නිර්වචනය කරගන්නට ඕනේ. පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේට ලැබිච්ච පළවෙනිම අවස්ථාවේ මේ දහම් චක්‍රය පෙරලා හරිමින් තමන් වහන්සේ කල්‍යාණ මිත්‍රයෙක් කියන එක දේශනාව ආරම්භයේදීම සඳහන් කරන්න යෙදුනා. කාමසුකල්ලිකානුයෝගයත් අත්තකිලමතානුයෝගයත් කියන අන්තදෙක අතහැරලා, අන්න ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණීම තුළින් සම්මා සම්බුද්ධත්වයට පත්වුණා. මෙන්න මේ කියන ආර්ය අෂ්ඨාංගික මාර්ගය මොකක්ද? කියලා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව දේශනා කරන්නට යෙදුණා. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණීම තුළින් තමයි දුක කෙළවර කරන්න ලැබෙන්නේ කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුණා. පින්වතුනි එතකොට ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව මග, මග සලකුණු, ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණීම පිළිබඳව යම්කිසි කෙනෙක් දේශනා කරනවා නම් හරියට, පිළිවෙලට අන්න අපි ඔහුට කල්‍යාණ මිත්‍රයා කියලා කියනවා.
පින්වතුනි එතකොට මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය දක්වා මග, මග සලකුණු පිළිවලට කියන්න පුළුවන් පරම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ, තථාගත ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි. පින්වතුනි, ආසය අනුසය ඥානය, පුබ්බේනිවාසානුස්සති ඥානය, ඉන්ද්‍රිය පරෝපරියත්ති ඥානය ආදී අනන්ත ඥානයන්ගෙන් සමන්නාගත, ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට, පුද්ගලයෙකුට හරියටම ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණෙන්නට අවශ්‍ය, නොයෙකුත් නා නා නයෙන් මග, මග සලකුණු පෙන්නන්නට මේ ධර්මයේ පුළුවන්කම,හැකියාව පවතිනවා. ඒ බුදුරජාණන් වහන්සේට තියෙන හැකියාව, මේ බුද්ධ ශාසනය තුළ වෙන කාටවත් නෑ. ඒ කාරණාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අන්න පරම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ කියලා. පින්වතුනි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව තමන් වහන්සේම හොයාගෙන ගුරුපදේශ රහිතව දේශනා කරන්නට නොයෙදුනා නම් කාටවත් මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය, ඒ මාර්ගයට පැමිණෙන මග, මග සලකුණු දේශනා කරන්නට නොලැබිලා යනවා. ඒ කාරණාවෙනුත්, බුදුරජාණන් වහන්සේ පරම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ වෙනවා.
පෙර පින් තියෙන අය කල්‍යාණ මිත්‍රයෝ හොයාගෙන ගියා
ඉතින් පින්වතුනි මෙන්න මේ කල්‍යාණ මිත්‍රත්වය මත බොහෝ සත්වයෝ ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක,පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන මෙන්න මේ දුක්ඛයන්ගෙන් එතෙරව, ආන්න මේ සසරින් එතෙර වෙන්නට මග සකස් කරගත්තා. මේ දුකින් නිදහස් වෙන්නට අමා මහා නිවනින් සැනසෙන්නට ඒ දේශනා කරපු මග, මග සලකුණු ඔස්සේ, ධර්මය ඔස්සේ පැමිණි අය ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතෙර වුණා.
ඉතින් ඒ නිසා මේ පින්වත් ඇත්තෝ හිතන්නට ඕනි. කල්පනා කරන්නට ඕන. ධර්මාවබෝධයට, ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණීමට, අන්න ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණෙන, මග, මග සලකුණු හරි හැටි අපි පෙර පින ප්‍රත්‍ය කරගෙන කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් ඇසුරු කරගෙන හොයාගන්නට ඕනි කියලා. ඒ නිසා මේ පින්වත් ඇත්තෝ හිතන්න ඕනේ,කල්පනා කරන්න ඕනේ අපිට බොහෝ පෙර පින් තියෙනවා. එහෙනම් අපි දැන් කල්‍යාණ මිත්‍රයෝ හෙව්වොත් ආන්න මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව දේශනා කරන ආර්ය අෂ්ඨාංගික මාර්ගයට ක්‍රමානුකූලව පැමිණෙන්න මග, මග සලකුණු දේශනා කරන, ආන්න ඒ උතුමන් වහන්සේලා හෙව්වොත් පෙර පින් තියෙන ඔබට ඒකාන්ත වශයෙන්ම පින්වතුනි ඒ කල්‍යාණ මිත්‍රයෝ මුණගැහෙනවා. හම්බුවෙනවා.
එතකොට බලන්න පින්වතුනි පෙර පින් තියෙන අය කල්‍යාණ මිත්‍රයෝ හොයාගෙන ගියා. ඔබ හොඳට හොයලා බලන්න මේ ශාසනය තුළ නිවන් දැකපු අයට, නිවන් දකින්නට සැලසිච්ච ප්‍රධානතම කාරණාව තමයි, ඉතාමත්ම කෙටි කාලයකින් නිවන් දකින්නට ලැබුණේ, කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා.
ආනන්දය! එහෙම කියන්න එපා
අපි ඔබට කල්‍යාණ මිත්‍රයා පිළිබඳව විස්තර කරන සුත්‍ර දේශනා කිහිපයක් මෙතනදි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒකමන්තං නිසින්නෝ ඛෝ රාජා පසේනදි කෝසලෝ භගවන්තං ඒතදවෝච: ඉධ මය්හං භන්තේ රහෝගතස්ස පටිසල්ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි: ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ. සෝ ච ඛෝ කල්‍යාණමිත්තස්ස කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවඞ‍්කස්ස නෝ පාපමිත්තස්ස නෝ පාපසහායස්ස නෝ පාපසම්පවඞ‍්කස්සාති. ඒවමේතං මහාරාජ, ඒවමේතං මහාරාජ, ස්වාක්ඛාතෝ මහාරාජ මයා ධම්මෝ. සෝ ච ඛෝ කල්‍යාණමිත්තස්ස කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවඞ‍්කස්ස. නෝ පාපමිත්තස්ස නෝ පාපසහායස්ස නෝ පාපසම්පවඞ‍්කස්සාති.
ඒකමිදාහං මහාරාජ, සමයං සක්කේසු විහරාමි නාගරකං නාම සක්‍යානං නිගමෝ. අථ ඛෝ මහාරාජ ආනන්දෝ භික්ඛු යේනාහං තේනුපසංකමි. උපසංකමිත්වා මං අභිවාදේත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ මහාරාජ ආනන්දෝ භික්ඛු මං ඒතදවෝච: උපඩ්ඪමිදං භන්තේ බ්‍රහ්මචරියස්ස යදිදං කල්‍යාණමිත්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම්පවංකතාති. ඒවං වුත්තාහං මහාරාජ ආනන්දං භික්ඛුං ඒතදවෝචං: මා හේවං ආනන්ද, මා හේවං ආනන්ද, සකලමේව හිදං ආනන්ද බ්‍රහ‍්මචරියං යදිදං කල්‍යාණමිත්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම්පවංකතා. කල්‍යාණමිත්තස්සේතං ආනන්ද භික්ඛුනෝ පාටිකංඛං කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවංකස්ස අරියං අට්ඨංගිකං මග්ගං භාවේස්සති, අරියං අට්ඨංගිකං මග්ගං බහුලීකරිස්සති.
එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය. වහන්ස, මෙහි රහසිගත ව එකලාව හුන් මා සිත්හි “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මැනවින් වදාරණ ලදී. හෙ ද කලණ මිතුරන් ඇත්තහුට ය. කලණ යහළුවන් ඇත්තහුට ය. කලණයන් කෙරෙහි නැමුනහුට ය. පවිටු මිතුරන් ඇත්තහුට නො වේ. පවිටු යහළුවන් ඇත්තහුට නො වේ. පවිටන් කෙරෙහි නැමුනහුට නො වේ” යන මෙබඳු චිත්ත විතර්‍කයෙක් පහළ විය. මහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. මහරජ, මා විසින් දෙසූ ධර්‍මය ස්වාක්ඛාත ය. එ ද කලණ මිතුරන් ඇත්තහුට ය. කලණ යහළුවන් ඇත්තහුට ය. කලණයන් කෙරෙහි නැමුනහුට ය. පවිටු මිතුරන් ඇත්තහුට නො වේ. පවිටු යහළුවන් ඇත්තහුට නො වේ. පවිටන් කෙරෙහි නැමුනහුට නො වේ. මහරජ, එක් කලෙක මම ශාක්‍ය දනව්වෙහි ශාක්‍යයන්ගේ නාගරක නම් නියම්ගම්හි වෙසෙමි. මහරජ, එකල අනඳ මහණ තෙමේ මා වෙත එළඹියේ ය. එළඹ මා වැඳ එකත්පසෙක හුන්නේ ය. මහරජ, එකත්පසෙක හුන් අනඳ මහණ තෙමේ මට “වහන්ස, යම් මේ කල්‍යාණමිත්‍රත්‍වයෙක් කල්‍යාණසහායත්වයෙක් කලණයන් කෙරෙහි නැමෙනසුලු වේ ද, මෙය මගබඹසර පිළිබඳ හරි අඩෙකැ”යි මෙය සැළ කෙළේ ය. මහරජ,එසේ කියන ලද මම අනඳ මහණට මෙය කියමි. ආනන්‍ද, එසේ නො කිය, ආනන්ද, එසේ නො කිය, ආනන්ද, යම් මේ කලණ මිතුරන් ඇතිබවෙක් කලණ යහළුවන් ඇතිබවෙක් කලණයන් කෙරෙහි නැමුනුබවෙක් වේ ද, මෙය මුළු මගබඹසර ම ය. ආනන්‍ද, “අරිඅටගිමග වඩන්නේ ය. අරිඅටගිමග බහුල කරන්නේ” ය යන මෙය කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණයන් කෙරෙහි නැමෙන මහණහු විසින් කැමති විය යුතු යි.
පින්වතුනි මට මේ අවස්ථාවේදී සූත්‍ර දේශනා කිහිපයක් මතක් වෙනවා. ඒ පිළිබඳවත් මේ පින්වත් ඇත්තන්ට යම් කරුණු කාරණා ටිකක් සිහිපත් කරන්නට වටිනවා කියලා, හොඳයි කියලා හිතෙනවා. පින්වත්නි එතනදී ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්ස! මේ බුද්ධ ශාසනයෙන් අඩක්ම තියෙන්නේ කල්‍යාණ මිත්‍ර සේවනය මත නේද? ආනන්දය! එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. මේ මුළු බුද්ධ ශාසනයම තියෙන්නේ කල්‍යාණ මිත්‍රයා මතයි කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේට, ආනන්ද හාමුදුරුවන්ට සිහිපත් කරනවා.
මුළු බඹසරම තියෙන්නේ කල්‍යාණ මිත්‍රයා මතයි
අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ යේන භගවා තේනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒතදවෝච: සකලමේවිදං භන්තේ, බ්‍රහ්මචරියං යදිදං කල්‍යාණමිත්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම්පවඞ‍්කතාති. සාධු, සාධු, සාරිපුත්ත, සකලමේවිදං සාරිපුත්ත බ්‍රහ්මචරියං යදිදං කල්‍යාණමිත්තතා කල්‍යාණසහායතා කල්‍යාණසම්පවඞ‍්කතා. කල්‍යාණමිත්තස්සේතං සාරිපුත්ත, භික්ඛුනෝ පාටිකඞ‍්ඛං කල්‍යාණසහායස්ස කල්‍යාණසම‍්පවඞ‍්කස්ස අරියං අට‍්ඨඞ‍්ගිකං මග්ගං භාවේස්සති, අරියං අට‍්ඨඞ‍්ගිකං මග්ගං බහුලීකරිස්සති.
ඉක්බිති ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, යම් කල්‍යාණමිත්‍රත්වයෙක් කල්‍යාණසහායත්වයෙක් කලණයන් කෙරෙහි නැමෙනසුලු වේ නම්, මෙය ම මුළු බඹසර යි. ශාරිපුත්‍රය, මැනවි මැනවි. ශාරිපුත්‍රය, යම් කල්‍යාණමිත්‍රත්වයෙක් කල්‍යාණසහායත්වයෙක්,කලණයන් කෙරෙහි නැමෙනසුලු වේ නම් මෙය ම මුළු බඹසර යි. ශාරිපුත්‍රය,අරිඅටඟිමග වඩන්නේ ය. අරිඅටඟිමග බහුල කරන්නේ ය යන මෙය කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණයන් කෙරෙහි නැමෙනසුලු මහණහු විසින් කැමති වියයුතු යි.
බලන්න පින්වතුනි, සාරිපුත්ත සුත්‍රයේදී, එම අවස්ථාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ,බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙලා, භාග්‍යවත් බුදුරජාණන් වහන්ස මේ මුළු බඹසරම තියෙන්නේ කල්‍යාණ මිත්‍රයා මතයි නේද? කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ආන්න ඒ අවස්ථාවේදී පින්වතුනි බුදුරජාණන් වහන්සේ, සාදු! සාදු! සාරිපුත්තය සාදු! සාදු! සාරිපුත්තය කියලා සඳහන් කරමින් මේ මුළු බඹසරම තියෙන්නේ කල්‍යාණ මිත්‍රයා මතයි කියලා මේ ආකාරයෙන්ම නැවත පෙරලා දේශනා කරනවා. එය අනුමත කරනවා.
ඉර උදාවට පූර්ව නිමිත්ත තමයි අරුණ උදාවීම
බුදුරජාණන් වහන්සේ කල්‍යාණමිත්ත සූත්‍රයේ මෙන්න මෙහෙම සඳහන් කරනවා,
සුරියස්ස භික්ඛවේ, උදයතෝ ඒතං පුබ්බංගමං එතං පුබ්බනිමිත්තං යදිදං අරුණග්ගං. ඒවමේව ඛෝ භික්ඛවේ, භික්ඛුනෝ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස උප්පාදාය ඒතං පුබ්බංගමං ඒතං පුබ්බනිමිත්තං, යදිදං කල්‍යාණමිත්තතා. කල්‍යාණමිත්තස්සේතං භික්ඛවේ, භික්ඛුනෝ පාටිකංඛං: අරියං අට්ඨංගිකං මග්ගං භාවේස්සති, අරියං අට්ඨංගිකං මග්ගං බහුලීකරිස්සති.
මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පූර්‍වඞ්ගම වෙයි, මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින් ම යම් කලණමිතුරන් ඇති බවෙක් වේ ද, මහණහට අරිඅටඟිමඟ ඉපදීමට මේ පූර්‍වඞ්ගම වෙයි,මේ පූර්‍ව නිමිත්ත වෙයි. මහණෙනි, අරිඅටඟිමඟ වඩන්නේය, අරිඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය කලණ මිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු යි.
පින්වත්නි, අපි ඔය ශ්‍රි පාදේ වන්දනා කරන්න එහෙම ගිහින් තියෙනවනේ. ශ්‍රි පාදය වන්දනා කරන්න ගිය මේ පින්වත් ඇත්තෝ හරිම ආසාවෙන්,කැමැත්තෙන් කරන එක් දෙයක් තමයි ඉර සේවය බලන එක. ඉර සේවය කියන්නේ,ඉර උදාව බලන එක. එතකොට පින්වතුනි මේ ඉර සේවය නරඹන ඔබට, තව චූටි වෙලාවකින් ඉර අහසින් එළියට එනවා කියලා දැනගන්න පුළුවන් වෙනවා අරුණ නැගීම තුළින්. මේ අරුණ නැගෙනවා කියන්නේ නැගෙනහිර අහස රත් පැහැගැන්වෙන එකයි. එතකොට පින්වතුනි, ඉර උදාවට පූර්ව නිමිත්ත තමයි අරුණ උදාවීම.
කල්‍යාණමිත්ත සූත්‍රයේ ආන්න අරුණ උදා වෙනවා කියන්නේ තව චුට්ටි වෙලාකින් ඉර පායනවා කියන එකයි. එහෙම සඳහන් කරලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ඉර උදාවට පූර්ව නිමිත්ත තමයි අරුණ උදාවීම. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පින්වතුනි කල්‍යාණ මිත්‍ර සේවනය තමයි මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණීමට පූර්ව නිමිත්ත කියලා. පින්වතුනි එහෙනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණෙන්න නම් ‘කල්‍යාණ මිත්‍ර සේවනය තිබිය යුතුයි’ කියන කාරණාවයි එතන ඒ සුත්‍ර දේශනාවේ සඳහන් කරන්නේ.
මට එතන තව චූට්ටක් විස්තර කරන්න ඕනේ පින්වතුනි. මේ අරුණ උදාවෙලා පැය ගානක් යන්නේ නෑ නැගෙනහිර අහසින් ඉර උදාවෙන්න. බොහෝම පුංචි වෙලාවක් තමයි මේ අරුණ උදා වෙලා, නැගෙනහිර අහසින් ඉර උදා වෙන්නට ගත වෙන්නේ. පින්වතුනි, බලන්න ඒ උපමාවේ දීලා තියෙන කාලය, පූර්ව නිමිත්ත හැටියට, ඒ වගේ තමයි, පින්වතුනි යම්කිසි කෙනෙකුට මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණිලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න දීර්ඝ කාලයක් ගත වෙන්නේ නෑ. කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් මුණගැහුණොත්. ඒ මග, මග සලකුණු මනාකොට ශ්‍රවණය කරලා අර කියන ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණිලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට පුළුවන්කම තියෙනවා.
පළවෙනි සෝතාපත්ති අංගය හැටියටත් සඳහන් කරන්නේ කල්‍යාණ මිත්‍ර සේවනයයි
ඉතින් ඒ වගේම පළවෙනි සෝතාපත්ති අංගය හැටියටත් සඳහන් කරන්නේ කල්‍යාණ මිත්‍ර සේවනයයි. ඉතින් පින්වතුනි ධර්මය තුළ මෙන්න මේ ආකාරයෙන් කල්‍යාණ මිත්‍රයා පිළිබඳව නොයෙකුත් නොයෙකුත් සුත්‍ර ඔස්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම ඔබද අපද කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා පිළිබඳව අහලා කියලා තියෙනවා. නමුත් පින්වතුනි එහෙම අහපු අපි කල්‍යාණ මිත්‍රයන් සොයා ගන්න ප්‍රමාද වෙන්නේ ඇයි? ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ කල්‍යාණ මිත්‍රයෙක් ඇසුරට හොයාගන්න එකයි. එහෙම නොවුණොත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳව, ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණෙන මග,මග සලකුණු පිළිබඳව දැනගන්න ප්‍රමාද වෙනවා. ධර්මය ශ්‍රවණය කරන්න කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ කෙනෙක් හොයාගන්න ප්‍රමාද වුනොත් අරිඅටගි මගට පැමිණීම කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ.
මේ විදිහටම හිතලා කල්පනා කරලා ධර්මය තුළ නිර්වචනය කරගෙන නෑ
එහෙනම් පෙර පින් තියෙනවා කියලා කියවාගත්ත අපි ඊළඟට කල්‍යාණ මිත්‍රයෝ හොයන්නට ඕනේ. පින්වත්නි මේ බුද්ධ ශාසනය තුළ නිවන් දකින්නට පෙර පින් තිබ්බ අය දෙවැනියට කළේ කල්‍යාණ මිත්‍රයෝ හොයාගෙන ගියපු එකයි. එහෙනම් පින්වතුනි පෙරපින් තියෙනවා කියලා කියවාගත්ත ඔබ අප හැමදෙනාම ඊළඟට කළ යුත්තේ කල්‍යාණ මිත්‍රයෝ හොයාගෙන යන එකයි. එහෙම වුනොත් ඔබටද මටද අපි හැමදෙනාටද මේ බුද්ධ ශාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය ඉතාමත්ම ඉක්මනින් සුවසේ පහසුවෙන් දීර්ඝ කාලයක් නොයා අවබෝධ කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණාවන් පිළිබඳව හොඳට හිතන්න කල්පනා කරන්න.
මේ පින්වත් ඇත්තෝ ඊළඟට කළ යුත්තේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා සොයා ගැනීමයි. එතකොට පින්වතුනි එහෙනම් අපි ඔබට මේ ධර්ම දේශනාව තුළ පෙර පින ප්‍රත්‍ය කරගෙන ‘කල්‍යාණ මිත්‍රයන් ලැබිය යුතුයි’ කියන කාරණාවට අදාළ දේශනාව තමයි මේ සිද්ධ කරන්නට යෙදුනේ. එතකොට මෙතනදී ඔබ හිතලා, කල්පනා කරලා, කල්‍යාණ මිත්‍රයෝ හොයාගෙන යන්න ඕනේ. අපි කල්‍යාණ මිත්‍රයෝ හොයන්න ඕනේ. ඔව්, ඇත්ත තමයි මෙච්චර තාක් කාලයක් අපි කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා පිළිබඳව ධර්මය තුළ මේ විදිහටම හිතලා කල්පනා කරලා නිර්වචනය කරගෙන නෑ. එහෙම නිර්වචනය කරගත්ත කෙනෙක් තුළ,තමන්ගේ හිතේ ඒ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා පිළිබඳව හොඳ සිහියක් නුවණක් ඉපදුනා නම් ඔබ මීට පෙර, මීට කලින් කල්‍යාණ මිත්‍රයෝ හොයාගෙන. එහෙම වුනානම් පෙරපින් තියෙන ඔබට කල්‍යාණ මිත්‍රයෝ මුණගැහෙන්නට ගොඩ කාලයක් ගත වෙන්නේ නැහැ. තේරුණාද? කල්‍යාණ මිත්‍රයා පිළිබඳව ඔබ කියවා ගත්තා නම් පින්වතුනි, ඔබ ඔය නොයෙකුත් වෙහෙර විහාර ආරණ්‍ය සේනාසන ආදී තැන්වලදී කල්‍යාණ මිත්‍රයෝ හඳුනාගන්නවා. ඉතින් ඒ නිසා කල්‍යාණ මිත්‍රයා හඳුනාගන්න නම් කල්‍යාණ මිත්‍රයා පිළිබඳව මේ ධර්මය තුළ හොඳට කියවාගෙන තියෙන්න ඕනේ.
මේ පින්වත් හැම දෙනාටම තෙරුවන් සරණයි!
ඒ වගේම මේ අරිඅටඟි මගට පැමිණීමට කල්‍යාණ මිත්‍රයාගේ අවශ්‍යතාවය පිළිබඳව මනාකොට ඔබ හඳුනාගෙන තිබිය යුතුයි. ඒ වගේම මේ කියන කාරණාව පිළිබඳව සිහිය නුවණ තමන් තුළ තිබිය යුතුයි. ඒ නිසා මේ පින්වත් ඇත්තෝ මොකද කරන්න ඕනේ කියලා මේ අවස්ථාවේදී හොඳට හිතන්න. හොඳට කල්පනා කරන්න. එහෙම නොවුනොත් අපි තවත් අපේ ජීවිතයේ පින්වතුනි, නිවන කියන කාරණාව දිසාවට ගමන් කරන්න ගොඩක් ප්‍රමාද වෙනවා. මේ ජීවිතයේ නිවන් දකින්න පහසුම ලේසිම ඉක්මන්ම ක්‍රමය එහෙනම්, පෙර පින් තිබෙන ඔබ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා සොයා ගැනීමයි.
ඉතින් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා සොයා ගැනීමට මේ ධර්ම ශ්‍රවණය කළ පිනත් මේ පින්වත් හැමදෙනාටම හේතු වේවා! වාසනා වේවා! මේ ධර්ම ශ්‍රවණය කළ පින අරිඅටඟි මග දක්වා පැමිණ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරමින් අමා මහා නිවන් සුවයෙන් සැනසීම පිණිසම හේතු වේවා! වාසනා වේවා! කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ ධර්ම දේශනාව අවසන් කරනවා.