ඕඝතරණ මාර්ගය දේශනා අංක 04 - පෙර පින් ඇති බව (02 කොටස)

ඕඝතරණ මාර්ගය දේශනා අංක 04 - පෙර පින් ඇති බව (02 කොටස)
ඕඝතරණ මාර්ගය දේශනා අංක 04 - පෙර පින් ඇති බව (02 කොටස)
🪷 දේශකයාණන් වහන්සේ: පූජ්‍ය කොළඹගම ධම්මදීප ස්වාමීන් වහන්සේ
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

ඒ භාග්‍යවත් වු අර්හත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි! මාගේ නමස්කාරය වේවා!

ඉතින් අද දවසේ එහි හතරවෙනි දේශනාව තමයි මේ

ඕඝතරණ දහම් සංග්‍රහය යූටියුබ් නාලිකාව ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික බෞද්ධ පින්වත්නි, මේ පින්වතුන් සූදානම් වෙන්නේ අද තවත් එක් ධර්ම දේශනාවක් සමඟින් අපත් සමග එක්වන්නටයි. ඉතින් අද දවසේ එහි හතරවෙනි දේශනාව තමයි මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ.

ඉතින් පෙර දේශනා තුනේදී අපි මේ පින්වත් ඇත්තන්ට සිහිපත් කරන්න යෙදුනා, පළවෙනි දේශනාවේදී මේ ‘ඕඝතරණ මාර්ගය’ කියන දේශනා මාලාව පිළිබඳව හැඳින්වීම, දෙවෙනි දේශනාවේදී දේශනා පෙළගැස්ම, ඒ වගේම අපි තුන්වෙනි දේශනාවේදී ඒ දේශනා පෙළගැස්මේ පළමුවන මාතෘකාව වශයෙන් තබපු, ‘පෙර පින් ඇති බව’ කියන මාතෘකාව අරගෙන එක් දේශනාවක් සිද්ධ කරන්න යෙදුනා. ඉතින් අද ඒ දේශනාවේ දෙවෙනි කොටස තමයි මේ පින්වත් ඇත්තන්ට මේ දේශනාව ඔස්සේ අරගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ.

ඉතින් මේ පින්වත් හැමදෙනාටමත් දෙවියන් බඹුන් සහිත ලෝකයේ හැමදෙනාටමත් මේ ධර්ම දේශනාව ධර්ම අවබෝධය පිණිසම හේතු වේවා! වාසනා වේවා! කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට යෙදෙනවා.

නමුත් ඒ පිළිබඳව අපි දන්නේ නෑ

ඉතිං පින්වත්නි, ඒ ‘පෙර පින් ඇති බව’ කියන දේශනාව සිද්ධ කරද්දී, අපි සඳහන් කළා, ඒ මාතෘකාව දේශනා දෙකක් විදිහට ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව සකස් කර දෙනවා කියලා. ඉතිං ඒකේ පළවෙනි දේශනාව ඔස්සේ අපි මේ පින්වත් ඇත්තන්ට සිහිපත් කරන්නට යෙදුනා, දේශනා කරන්නට යෙදුනා, පින්වත්නි පෙර බුද්ධ ශාසන වල, පෙර සංසාරයේ, අපි පෙර පින් කරපු ආකාරය,ඒ වගේම පෙර සංසාරයේ පෙර පින් කරලා, ප්‍රාර්ථනා කරපු දේවල්, එහෙම පෙර සංසාරේ පෙර පින් කරලා නිවන ප්‍රාර්ථනා කරමින් ආපු අපි මේ ජීවිතයේ, ඒ ප්‍රාර්ථනාව ඉෂ්ඨ කරගන්නට අවශ්‍ය කරන මේ මනුස්සාත්මභාව පටිලාභයක් ලබාගෙන ඇවිදින් ඉන්නේ ඒ නිවන් දකින්න පුළුවන් හැකියාව, ඒ නිවන් දකින්න පුළුවන් කුසලතාවයත් එක්කයි.

නමුත් ඒ පිළිබඳව අපි දන්නේ නෑ, දකින්නේ නෑ. අපි එය හඳුනාගෙන නැ. අපි ඒක කියවගෙන නෑ. ඒ වගේම මේ මනුස්ස ලෝකයට නිවන් දකින්න ඕනි කියලා අපි ආවා. නමුත් ඒ කාරණාව දැන් අපිට අමතක වෙලා. අපේ ජීවිතය දින, සති, මාස, අවුරුදු,හැටියට ගෙවිලා යනවා කියලා. ඉතින් මෙහෙම ගෙවිලා ගියොත් වැඩක් නෑ. නිවන් දකින්න තියෙන පින, ඒ වගේම නිවන් දකින්න තියෙන හැකියාව, කුසලතාවය, ඒ ප්‍රාර්ථනා කරලා නිවන් දකින්න ආපු හේතු සම්පතුත්, අපෙන් මේ ජීවිතය තුළදී ගිලිහිලා යනවා.

එතකොට පින්වතුනි අපි ඒ මහධන සිටුපුත්‍රයාගේ කතා පුවත මේ පින්වත් ඇත්තන්ට සිහිපත් කරන්න යෙදුනා. එහෙම වුනොත් අපිටත් මේ බුද්ධ ශාසනය තුළ පිහිටක් නොලබාම, සරණක් නොලබාම,චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නේ නැතුවම, නැවත මේ ජීවිතයෙන් සමුගන්න වෙනවා කියන කාරණාවත් අපි මේ පින්වත් ඇත්තන්ට සිහිපත් කරන්න යෙදුනා. පින්වත්නි, ඉතින් ඒත් එක්කම අපි සඳහන් කරන්න යෙදුනා ප්‍රාර්ථනාවෙන් එන්න පුළුවන් දුර කොපමණද? ඒ වගේම ප්‍රාර්ථනාවෙන් ඒ එන්න පුළුවන් දුර අපි හඳුනාගන්න ඕනේ. ඒ වගේම ඒ ප්‍රාර්ථනාවෙන් එන්න පුළුවන් දුර ඇවිදින් එතනින් පස්සේ අපි මොනවද කරන්නේ? කරන්න ඕනේ? කියන කාරණාවන් අපි සිහිපත් කරන්නට යෙදුනා.

පින් තියෙන අයට තමයි, දුර්ලභ දේවල් ලැබෙන්නේ

ඒ වගේම පින්වත්නි, අපි තවදුරටත් මේ පින්වත් ඇත්තන්ට සඳහන් කළා, ‘පෙර පින් තිබ්බ අය ඒ පෙර පිනින්, මේ බුද්ධ ශාසනය තුළ, ඒ පෙර පින ප්‍රත්‍ය කරගෙන,ලබපු දේවල් මොනවද නිවන් දකින්න’ කියලා,අපි ඊළඟ මේ දේශනාව තුළ ඔබට සිහිපත් කරනවා කියලා සඳහන් කළා. ඒ වගේම ‘පෙර පින් තියෙන අයට ඒ ලැබිච්ච දේවල් අපිටත් නිවන් දකින්නට ලැබිලා තියෙනවා නම්, අපිටත් එහෙනම් නිවන් දකින්න පෙර පින් තියෙනවා’ කියන කාරණාව හඳුනාගන්නට ඒක හේතුවක්, කාරණාවක් වෙනවා කියලා සඳහන් කළා.

ඉතින් එතකොට බලමු ඔබ අපි හැමෝම මේ බුද්ධ ශාසනය තුළ, ඒ නිවන් දකින්නට, නිවන් දැකපු අයට ලැබිච්ච දේවල්, අපිටත් ලැබිලා තියෙනවද? කියලා.

දැන් එහෙනම් පින්වත්නි පෙර පින් තියෙන අයට ලැබිච්ච දේවල් මොනවද බලමු. පින්වතුනි, පින් තියෙන අයට තමයි දුර්ලභ දේවල් ලැබෙන්නේ. දුර්ලභ දේවල් ලැබෙනවා කියන්නේ, පින් තියෙනවා කියන එකයි.

පින්වත්නි, දුර්ලභ දේවල් කියන කොටම ඔබට ඔබේ සිහියට එනවා ඇති රන් රිදී මුතු මැණික් මිල මුදල් මේ කියන දේවල් දුර්ලභයි කියලා. පින්වත්නි අපේ නුවණට තමයි ඒ කියන දේවල් දුර්ලභයි කියලා සිහිපත් වෙන්නේ, හැඟෙන්නේ. නමුත් පින්වත්නි, ඒ රන්රිදී මුතු මැණික් මිල මුදල් යාන වාහන මේ කියන දේවල් ලැබුණා කියලා අපිට ජාති ජරා ව්‍යාධි මරණාදී දුකින් නිදහස් වෙන්නට පුළුවන්ද? මේ ගෝර කටුක භයානක සංසාරයෙන් නිදහස් වෙන්නට පුළුවන්ද? නෑ. ඉතින් පින්වතුනි කොච්චර දුර්ලභ දෙයක් වුනත් වැඩක් නෑ, ඒ දේ පාවිච්චි කරලා ඒ දේ භාවිතා කරලා දුකින් නිදහස් වෙන්නට බැරිනම්.

අපි මීට වඩා දුරක් ධර්මය තුළ ගමන් කරලා අවසන් මේ වනවිට

ආන්න පින්වත්නි, “දුකින් නිදහස් වෙන්නට පුළුවන් දේවල් අපිට ලැබෙනවා නම්, ඒ දේවල් තමයි දුර්ලභ” කියලා අපි හිතන්නේ නෑ. අපි කල්පනා කරන්නේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ,ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, යමක් දුර්ලභයි කියලා සඳහන් කරනවා නම්, ආන්න ඒ දුර්ලභ කාරණා අපිත් අපේ හිතින් හිතලා, කල්පනා කරලා,දුර්ලභයි කියලා හඳුනාගෙන තියෙනවා නම්, අපි තුළ හොඳ සිහියක් නුවණක් ඒ පිළිබඳව තියෙනවා නම්, අපි මිට වඩා දුරක් ධර්මය තුළ ගමන් කරලා අවසන් මේ වනවිට.

මොහොතක් හිතන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ සඳහන් කරනවා, දුර්ලභයි කියලා කාරණා පහක්. මෙන්න මේ කාරණා පහ මොකක්ද? මෙන්න මේ කාරණාවන් අපිට අපේ ජීවිතයේ ලැබිලා තියෙනවද? මෙන්න මේ කාරණාවන් සංසාරයෙන් නිවන් දැකපු අයට පෙර පිනට හම්බ වුණා නම්, හම්බ වෙලා, ඒ අය, ඒ කාරණාව ප්‍රත්‍ය කරගෙන, නිවන් දැක්කේ කොහොමද? කියන කාරණාව අපි මෙතනදි හිතන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ.

ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝක ධාතුවේ පහළ වෙන එක දුර්ලභයි

පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ දුර්ලභයි කියලා සඳහන් කරන පළමු කාරණාව තමයි, බුද්ධප්පාදෝ දුල්ලභෝ ලෝකස්මිං බුදු කෙනෙක්ගේ පහළ වීම දුර්ලභයි කියලා, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ සඳහන් කරනවා.

පින්වත්නි, බුදු කෙනෙක්ගේ පහළවීම දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ සඳහන් කරන්නේ මේ ආකාරයෙන්, මේ තිස් එක් තලය, ඒ වගේම දස දහසක් සක්වල, කෝටියක් සක්වල ආදී වශයෙන් අනන්ත ඉර,හඳ, තාරකා සහිත මේ සක්වලවල් තමන් වහන්සේගේ නුවණින්, තමන් වහන්සේගේ අනන්ත මහා ප්‍රඥාවෙන් බලලා. පින්වතුනි, මේ ලෝක එකින් එක, එකින් එක, බලද්දී ආන්න බුදුරජාණන් වහන්සේට දකින්න ලැබෙනවා, මේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, මේ ලෝක ධාතුවේ පහළ වෙන එක දුර්ලභයි කියලා. මේ තමයි පළවෙනිම දුර්ලභ කාරණාව. පින්වතුනි, ඉතින් දීර්ඝ කාලයක් අතීතයේ බැලුවත් මේ ලෝකයට ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා පහළ වීම දුර්ලභයි කියලා, මේ ආකාරයෙන්, නොයෙක් නොයෙක් ආකාර වලින් දකිද්දී, බලද්දී, විමසද්දී, බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දැකලා තමයි, දුර්ලභයි කියලා, පළමු කාරණාව හැටියට බුද්ධුප්පාදය පිළිබඳව මහා කරුණාවෙන් දේශනා කරන්නේ.

බුදු කෙනෙක්ගේ පහළ වීම, බුදු කෙනෙක් පහළ වුණා කියලා අහන්න ලැබෙන එක තමයි, අපිට මේ ලෝකයේ ගමන් කරද්දී අහන්න ලැබෙන පලමු දුර්ලභ කාරණය. මෙන්න මේ කාරණාව අපි මේ විදිහටම හඳුනාගෙන, කියවාගෙන, තියෙන්නට ඕනේ. පින්වතුනි එහෙම හඳුනාගෙන තියෙන අපිට, බුදු කෙනෙක්ගේ පහළ වීම දුර්ලභයි,ඒ බුදු කෙනෙක්ගේ පහළ වීම, බුදු කෙනෙක් පහළ වුණා, බුද්ධ ශාසනයක් පවතිනවා, ඒ බුද්ධ ශාසනය තුළ “බුද්ධං සරණං ගච්ඡාමි”කියලා ඒ බුදුරජාණන් වහන්සේ සරණ යන්නට ලැබිලා තියෙන්නේ, වෙන මොකවත් නිසා නෙමෙයි පෙර සංසාරයේ කරගත්ත, පෙර පින මත පදනම් වෙලා. එහෙනම් පින්වතුනි, අපිට මේ ලෝකයේ යමෙකුට ලැබීමට දුර්ලභයි කියන පළවෙනි කාරණාව ඔන්න අපේ ජීවිතයේ ලැබිලා තියෙනවා.

මනුස්සාත්මභාව පටිලාභය දුර්ලභයි

බුදුරජාණන් වහන්සේ නොයෙක් නොයෙක් ආකාර වලින් මේ ලෝකය බලද්දී, ලෝකය විමසද්දී, දෙවෙනි දුර්ලභ කාරණාව හැටියට දකිනවා, මනුස්සාත්මභාව පටිලාභය දුර්ලභයි කියලා, දැකලා,මනුස්සත්ත පටිලාහෝ දුල්ලභෝ කියලා දේශනා කරනවා.

මේ ලෝක ධාතුව තුළ පින්වතුනි, දස දහසක් සක්වල තුළ, කෝටියක් සක්වල තුළ, අපි අර කිව්වා ආකාරයෙන්,අනන්ත ඉර හඳ තරු තාරකා සහිත සක්වලවල්, වල මනුස්සාත්මභාවයක් ලබාගෙන, යම්කිසි කෙනෙක් ඉන්නවා නම්, ඒක අතීශය දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ දකිනවා. ඉතින් මෙහෙම දකින බුදුරජාණන් වහන්සේ ආන්න දෙවනි දුර්ලභ කාරණාව හැටියට මේ මනුස්සාත්මභාව පටිලාභයක් ලැබීම සඳහන් කරනවා.

පින්වතුනි ඔබට හිතෙනවා නම්, ඔබට කල්පනා වෙනවා නම්, මෙන්න මෙහෙම මේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා ලෝකයට දේශනා කරනවා,මනුස්සත්මභාව පටිලාභයක් ලැබීම දුර්ලභයි. අනේ එහෙනම්, මේ බුදු කෙනෙක්ගේ බුදු මුවින් මෙහෙම දේශනා කරන්නේ, කොච්චර නම් නොයෙක් නොයෙක් ක්‍රමයෙන් බලලා ද, විමසලා ද, අපිට මෙහෙම දේශනා කරන්නේ? එහෙනම් මමත් කොච්චර නම් පින් තියෙන කෙනෙක්ද?කියලා, මට ඒ කාරණාව මේ ජීවිතය තුළ ලැබිලා තියෙනවානේ කියලා, ඔබට නොයෙක් නොයෙක් ආකාර වලින් හිතන්න කල්පනා කරන්න පුළුවන්.

ඒ වගේම තමයි පින්වතුනි මෙහෙම මනුස්සාත්මභාව පටිලාභයක් මට ලැබුණේ කොහොමද? කියලත් මේ ධර්මය තුළ නැවත නැවත නැවත විමසලා බලනකොට ආන්න පින්වතුනි පෙර පින ප්‍රත්‍ය කරගෙන ඔබට මේ මනුස්සාත්මභාව පටිලාභය ලැබිච්ච හැටි හඳුනාගන්න පුළුවන්. එහෙනම් පින්වතුනි බුද්ධෝත්පාදයත් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම මනුස්සාත්මභාව පටිලාභයත් අපිට ලැබිලා තියෙනවා.

සද්ධා සම්පත්තිය දුර්ලභයි

බුදුරජාණන් වහන්සේ නැවත මේ ලෝක ධාතුව විමසනකොට ආන්න ඊළඟට දුර්ලභයි කියලා දැකලා දේශනා කරන්නේ, දුල්ලභා සද්ධා සම්පත්ති සද්ධා සම්පත්තිය දුර්ලභයි කියලා තමයි.

මේ ශ්‍රද්ධා සම්පත්තිය කියන කාරණාව පින්වතුනි දුර්ලභයි කියලයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. එතකොට හිතන්න, කල්පනා කරන්න, මේ ලෝක ධාතුව තුළ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා, බුදුරජාණන් වහන්සේ මේ ගුණයෙන් අරහං නම් වන සේක, සම්මා සම්බුද්ධ නම් වන සේක, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක, සුගත නම් වන සේක, ලෝක විදූ නම් වන සේක, ඒ වගේම අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක. සත්ථා දේවමනුස්සානං නම් වන සේක, බුද්ධ නම් වන සේක, භගවා නම් වන සේක, ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ නව අරහාදී ගුණ පිළිබඳව දේශනා කරන්නට යෙදෙනවා. ඉතින් ඒ දේශනා කරපු, නව අරහාදී බුදු ගුණ පිළිබඳව පැහැදීම විශ්වාසය ඇදැහීම යම්කිසි කෙනෙකුගේ චිත්ත සන්තානය තුළ තියෙනවා නම්, ඒ වගේම ධර්මයේ ස්වාක්ඛාතාදී ගුණ පිළිබඳව ද, මහා සංඝරත්නයේ සුපටිපන්නාදී ගුණ පිළිබඳව ද, විශ්වාසය, ඇදැහීම, පැහැදීම තියෙනවා නම්, ආන්න ඒ අයගේ චිත්ත සන්තානය තුළ ශ්‍රද්ධාව තියෙනවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන්.

මෙන්න මේ ආකාරයෙන් පින්වතුනි, මිනිස්සුන්ගේ හිත් වල මේ කියන ශ්‍රද්ධාව කියන කාරණාව අතීශයම දුර්ලභ වූ කාරණාවක් හැටියට, ඒ ශ්‍රද්ධා සම්පත්තිය බොහෝම සුළු පිරිසකගේ හිත් තුළ පමණයි තියෙනවා දකින්නේ දෙවියන්, මිනිසුන්, බ්‍රහ්මයන් සහිත මේ ලෝකයේ. ඉතින් ආන්න එහෙම දැකලා බුදුරජාණන් වහන්සේ දුල්ලභා සද්ධා සම්පත්ති, මේ ශ්‍රද්ධා සම්පත්තිය දුර්ලභයි කියලා සඳහන් කරනවා.

සමහර අයගේ ශ්‍රද්ධාව හිත තුළ පිරිලා ඉතිරිලා යන්නට තියෙනවා

පින්වතුනි හොයලා බැලුවොත්, විමසලා බැලුවොත් හිත් වල මිනිස්සුන්ගේ තරහ, වෛර, අමනාප,ක්‍රෝධය, ඉරිසියාව, මානය, ලෝභකම මේ වගේ දේවල් පිරිලා ඉතිරිලා යන්නට තියෙනවා. හැබැයි පින්වතුනි, හොයලා බලන්න ශ්‍රද්ධාව තියෙන කෙනෙක් එහෙම නෑ. ඒ ඒ ස්වභාවයන්ගෙන් හිත බොහෝ සෙයින් මුදවාගෙන, හොඳ කර්ම කර්මඵල විශ්වාසයක් මෙලොව පරලොව තේරුම් අරගෙන, නිවන් මග සොයමින්, නිවන් මග ගමන් කරමින්,අකුසලයෙන් ඈත් වෙලා කුසලය තුළ සමාදන් වෙලා පන්සිල් රැකගෙන,ජීවත් වෙන්නේ ශ්‍රද්ධාව තියෙන අය.

ඉතින් එහෙනම් මේ ලෝකයේ, මේ සමාජයේ බලන්න පින්වතුනි, ඒ වගේ අය අපිට දකින්නට ලැබෙනවා අතීශය දුර්ලභයි. ඒකට හේතුව තමයි,ඒ අයගේ සිත්සතන් තුළ ශ්‍රද්ධාව නොමැතිකම. පින්වතුනි ඉතින් මේ ලෝක ධාතුවේ විතරක් නෙමෙයි, දස දහසක් මේ අනන්ත සක්වල සහිත ලෝකයේ විමස විමසා බලද්දී නා නා නයින් නා නා ක්‍රමයෙන් බලන බුදුරජාණන් වහන්සේ තුන්වෙනි කාරණාව හැටියට දුල්ලභා සද්ධා සම්පත්ති, මේ ශ්‍රද්ධා සම්පත්තිය දුර්ලභයි කියලා දේශනා කරන්නේ ඒකයි. ඉතින් ඒ වගේම පින්වතුනි, එහෙනම් ඒ කියන කාරණාවත් අඩු වැඩි වශයෙන් අපේ චිත්ත සන්තානය තුළ පිහිටලා තියෙනවා කියන්නේ, ආන්න අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුන්වෙනි දුර්ලභ කාරණාවත් අපි අපේ ජීවිතයේ සපුරාගෙන තියෙනවා කියන එකයි.

එහෙනම් ඒ තුන්වෙනි දුර්ලභ කාරණාවත් අපිට අපේ ජීවිතයේ මේ විදිහට සපුරාගන්නට ලැබුණේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. පෙර සංසාරයේ පින් තිබිච්ච නිසායි. ශ්‍රද්ධාව නැවත නැවත උපදවාගෙන අපි සංසාරයේ කටයුතු කරපු නිසා තමයි පින්වතුනි, පුරුද්දක් හැටියට මේ ජීවිතයේත් අපේ චිත්ත සන්තානය තුළ ඔය ආකාරයෙන් ශ්‍රද්ධා සම්පත්තියේ තියෙන්නේ. ඉතින් අපි දකිනවා අඩු වැඩි වශයෙන් සමහර අයගේ සිත් සතන් තුළ ශ්‍රද්ධාව තියෙනවා. සමහර අයගේ ශ්‍රද්ධාව හිත තුළ පිරිලා ඉතිරිලා යන්නට තියෙනවා. ඉතින් ඒ නිසා කල්පනාවට ගන්න ඕනේ දුර්ලභ කාරණාවක් හැටියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ශ්‍රද්ධා සම්පත්තිය අපිට තියෙනවා නම්, ඒක ලැබුණේ පෙර පිනට තමයි. අපි ගොඩක් පින් තියෙන අය.

ගොඩාක් පින් තියෙන්න ඕනේ පැවිදි වෙන්නට

ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ සඳහන් කරනවා, පබ්බජිතභාවෝ දුල්ලභෝ, පැවිද්ද කියන කාරණාව දුර්ලභයි කියලා.

ඉතින් මේ ධර්ම ශ්‍රවණය කර ගිහි පින්වතුන්ට ඒ කාරණාව නම් ජීවිතේ මේ වෙනකොට මේ මනුස්ස ජීවිතය තුළ ලැබිලා නැහැ. හැබැයි පින්වතුනි, පැවිද්ද කියන එකත් මේ බුද්ධ ශාසනයක ලබාගන්නවා කියන එක දුර්ලභ කාරණාවක්. ගොඩාක් පින් තියෙන්න ඕනේ පැවිදි වෙන්නට. ඉතින් පින්වතුනි අපිටත් මේ ජීවිතයේ මේ මේ විදිහට පැවිද්ද ලැබිලා තියෙන්නේ වෙන මොකවත් නිසා නෙමෙයි. පෙර සංසාරයේ බුද්ධ ශාසන වල බොහෝ අය පැවිදිවෙලා සීල සමාධි ප්‍රඥා ගුණධර්ම පුරනවා දැකලා, අනේ මටත් මේ සංසාරේ මේ උතුම් පැවිද්ද කොතනක හරි මේ විදිහට ලැබේවා! කියලා ප්‍රාර්ථනා කරලා ඊට අදාළව පින් කරපු නිසයි. උතුම් පැවිද්ද මට ලැබේවා! කියලා නොයෙක් වාර වල හිතලා කල්පනා කරලා නොයෙකුත් පින්කම් කරලා, ආන්න ඒ කුසල් දහම් රැස් කරමින් කරපු ප්‍රාර්ථනාවක විපාකයක් හැටියටයි අපිටත් මේ පැවිද්ද ලැබිලා තියෙන්නේ. මේ චීවරය දරාගෙන ඉන්නේ. අදත් අපිට ගොඩක් අය කියනවා, “අපි දැන් පරක්කුයි” කියලා මේ චීවරය දරාගන්න. “අපිටත් පැවිදි වෙන්න තිබ්බානම් හොදයි” කියලා කියනවා. “අපිට ඒකට පින් මදියි” කියලා කියනවා. “ඊළඟ ජිවිතයේදී හරි පැවිදි වෙන්න ලැබේවා!” කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතිං එහෙම ප්‍රාර්ථනා කරන එක හොඳයි. ඒක ඔබටත් උතුම් පැවිද්ද ලබන්නට හේතුවක් වෙයි. ඉතින් ඒක මේ ලෝක ධාතුව තුළ හතරවෙනි දුර්ලභ කාරණය හැටියට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් ඒ පැවිද්ද ලැබෙන්නත් විශාල පිනක් අපිට අපේ ජීවිතයේ තියෙන්න ඕනේ.

සද්ධර්ම ශ්‍රවණය කියන කාරණාව දුර්ලභයි

ඊළඟ කාරණාව විදිහට පින්වතුනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ සද්ධර්ම ශ්‍රවණය. මේක පින්වතුනි ඊළඟට දුර්ලභයි කියලා සඳහන් කරන්නේ, සද්ධම්මසවනං දුල්ලභං, සද්ධර්ම ශ්‍රවණය කියන කාරණාව දුර්ලභයි කියලා බුදුරජාණන් වහන්සේ ධර්මය තුළ සඳහන් කරනවා.

පින්වත්නි මේ ආළාරකාලාම, උද්දකරාමපුත්ත යන අය බලන්න. බුදු කෙනෙක් ලෝකයේ පහළ වෙලා, බුදු කෙනෙක් පහළ වෙලා සති අටක් ගිය තැන තමයි දහම් චක්‍රය පෙරලා හරින්නේ, ඇසල පොහොය දවසේ. නමුත් පින්වතුනි මේ ආළාරකාලාමට, උද්දකරාමපුත්තට බුද්ධෝත්පාදයක් ලැබුණා. හැබැයි බුද්ධෝත්පාදයක් ලැබිලා මනුස්සත්මභාව පටිලාභයක් ලැබුණා. පින්වතුනි ඒ අයගේ චිත්ත සන්තානය තුළින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව විමසන්න, ධර්මය පිළිබඳව විමසන්න, සංඝයා පිළිබඳව ඒ ගුණ පිළිබඳව විමසන්න බැරි වුණා. නමුත් ඒ අය පින්වතුනි, පංච නීවරණ ධර්මයන් දුරු කරගෙන හොඳට හිත සමාධිමත් කරගෙන හිටපු අය. ධර්මශ්‍රවණය කියන කාරණාව නොලැබිලා ගිය නිසා, ඒ අයට නිවන් දකින්නට නොලැබිලා ගියා. බුදුරජාණන් වහන්සේ දහම් චක්‍රය පෙරලා හරින්නට, ඒ සහම්පතී මහාබ්‍රහ්මරාජයාගෙන් ආරාධනාව භාර අරගෙන විමසලා බලනවා.

ආළාරකාලාම තවුස් තෙමේ මහත් පිරිහීම් ඇත්තෙක්ය

ඊට පසුව, භාග්‍යවතුන් වහන්සේට “මම කවරකුට පළමු කොට දහම් දෙසන්නෙම් ද? කවරෙක් මේ චතුරාර්‍ය්‍යසත්‍යධර්මය වහා ම අවබෝධ කරන්නේ දැ?”යි මෙබඳු සිතෙක් වූයේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේට “කාලාම ගෝත්‍රයෙහි වූ මේ අළාර තවුස් තෙමේ පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. බොහෝ කලක් මුළුල්ලෙහි අල්පරජස්ක වූයේ ය. මම කාලාම ගෝත්‍රයෙහි වූ ආළාර තවුසාහට පළමු කොට දහම් දෙසන්නෙම් නම් මැනවි. හෙතෙමේ වහා ම මේ ධර්‍මය දැනගන්නේ ය” යි මෙබඳු සිතෙක් ඇතිවුණා. එවෙලේ අතුරුදහන් වූ (නො පෙණී සිටි) දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේ හට “ස්වාමීනි, කාලාම ගෝත්‍රයෙහි වූ ආළාර තවුස් තෙමේ මින් සත් දවසකට පෙර කලුරිය කෙළේ ය”යි සැළකෙළේ ය. භාග්‍යවතුන් වහන්සේ ද ආළාරකාලාම තවුස් තෙමේ සත් දවසකට පෙර කලුරිය කෙළේ ය” යි සර්‍වඥතාඥානයෙන් දත් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේහට ආළාරකාලාම තවුස් තෙමේ මහත් පිරිහීම් ඇත්තෙක් ය. ඉදින් හෙතෙමේ මේ ධර්‍මය ඇසුයේ නම්, වහා ම දැන ගන්නේ ය”යි මෙබඳු සිතෙක් වූයේ ය.

උද්දකරාමපුත්‍ර තෙමේ මහත් පිරිහීම් ඇත්තෙක්ය

ඉන් අනතුරුව, භාග්‍යවතුන් වහන්සේට “මම කවරකුහට පළමු කොට දහම් දෙසන්නෙම් ද? කවරෙක් මේ ධර්මය වහා ම දැනගන්නේ දැ?” යි සිතෙක් වූයේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ හට “රාමපුත්‍ර වූ මේ උද්දක තවුස් තෙමේ පණ්ඩිත ය. ව්‍යක්ත ය. නුවණැත්තේ ය. බොහෝ කලක් මුළුල්ලෙහි අල්පරජස්ක වූයේ ය. මම උද්දකරාමපුත්‍රයා හට පළමු කොට දහම් දෙසන්නෙම් නම් මැනවි, හෙතෙමේ මේ ධර්මය වහා ම දැනගන්නේ ය”යි සිතෙක් උපන්නේ ය. ඉක්බිති මුවා ව සිටි දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේහට “ස්වාමීනි,රාමපුත්‍ර වූ උද්දක තවුස් තෙමේ රෑ මැදියම කලුරිය කෙළේ ය” යි සැළකළේ ය. භාග්‍යවතුන් වහන්සේ ද “උද්දකරාමපුත්‍ර තෙමේ රෑ මැදියම කලුරිය කෙළේ ය” යි සර්‍වඥතාඥානයෙන් දත් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේහට උද්දකරාමපුත්‍ර තෙමේ මහත් පිරිහීම් ඇත්තෙක් ය. ඉදින් හෙතෙමේ මේ ධර්‍මය ඇසූයේ නම්, වහා ම දැනගන්නේ ය”යි සිතෙක් උපන්නේ ය.

එතකොට බලන්න පින්වතුනි මේ ධර්ම ශ්‍රවණය කියන කාරණාව නොලැබී යාම නිසා ඔහුට මොකද වුනේ ධර්මය අවබෝධ කරන්න බැරි වුණා. පින්වතුනි පෙර සංසාරයේ පින් කරපු අයට පින් කරලා ප්‍රාර්ථනා කරගෙන ආපු විදිහටම අපදාන පාළිය වගේ විමසලා බලනවා නම්, ඒ අපදාන පාළියේ ඒ මහා තෙරවරුන්ගේ මහා තෙරණියන්ගේ කතා පුවත් විමසලා බලනවා නම්, ඒ අයට ප්‍රාර්ථනා කරපු විදිහටම මේ ගෞතම බුද්ධ ශාසනය ලැබුණා. මනුස්සාත්මභාව පටිලාභය ලැබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මය සංඝරත්නය පිළිබඳව ශ්‍රද්ධාව තිබුණා. ඒ අයට ලැබිච්ච දේ අපිටත් අපේ ජීවිතයේ ලැබිලා තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම මේ කියන දුර්ලභ කාරණා අපිට අපේ ජීවිතයේ ලැබිලා තියෙන එකෙන් අපි තේරුම් ගන්නවා නම් හිතනවා නම්, කල්පනා කරනවා නම්, ධර්මයට අනුව මට පෙර පින් තියෙනවා. පෙර කුසල් තියෙනවා. ඒ වගේම මේ දේවල් මට ලැබිලා තියෙන්නේ පෙර පිනින් පෙර කුසලයෙන්. ඒ කියන්නේ නිවන් දැකීමේ කුසලතාවය හැකියාව අන්න මා තුළ උපදවාගෙන, මම කටයුතු කළොත්, මට මේ බුද්ධ ශාසනය තුළ නිවන් දකින්නට පුළුවන්.

ඊළගට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට මොකක්ද කරන්න ඕනේ

නිවන් දකින්නට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කියන බුද්ධුප්පාදය මනුස්සාත්මභාව පටිලාභය, ශ්‍රද්ධා සම්පත්තිය, පැවිද්ද, ඒ වගේම මේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය එතකොට මෙන්න මේවා පෙර පිනට ලැබුණේ, පෙර පිනට බුද්ධුප්පාදය ලැබිච්ච අය, ඒ වගේම මානුස්සාත්මභාව පටිලාභය ලැබිච්ච අය, ශ්‍රද්ධා සම්පත්තිය ලැබිච්ච අය,පැවිද්ද ලැබිච්ච අය, ශ්‍රද්ධර්ම ශ්‍රවණය ලැබිච්ච අය, ඒ ශ්‍රද්ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසුණු අය, මෙන්න මේ කියන ප්‍රාර්ථනාවෙන් මේ ප්‍රත්‍ය ලැබිච්ච අය, ඊළඟට අර කියන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට කුමක්ද කළේ? මොනවද හෙව්වේ? ධර්මය තුළ කොහොමද කටයුතු කළේ? කියන කාරණාව ඊළඟ අපි විමසලා බලන්න ඕනේ.

ඉතින් එහෙනම් නිවන් දකින්න පෙර පින් තියෙන අය, මෙහෙම පෙර පින් තියෙනවා කියලා තේරුම් ගත්තට පස්සේ, ඒ පෙර පින ප්‍රත්‍ය කරගෙන ඊළඟට කළ යුත්තේ මොකක්ද? අපි ඊළඟට නිවන් දකින්නට ගමන් කළයුත්තේ කෙසේ ද?අපි මේවා තේරුම් අරගෙන, ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට අවශ්‍ය කරන ඊළඟ වැඩපිළිවෙල මොකක්ද? කියලා අපි මේ පින්වත් ඇත්තන්ට ඊළඟ දේශනාවෙන් සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා.

අද දින සාරාංශය

අපි අද දවසේ මේ පින්වතුන්ට සඳහන් කළා, බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුර්ලභ කරුණු පහ, පෙර පින් ඇති අයට පමණක් ලැබෙනවා කියලා සඳහන් කළා. පින් ඇති අයට ලැබෙන්නේ "දුර්ලභ"දේවල් කියලා සඳහන් කළා. සාමාන්‍ය ලෝකයේ රන්, රිදී, මුතු මැණික් දුර්ලභ යැයි සිතුනද,සැබෑ දුර්ලභත්වය ඇත්තේ සසර දුක නැති කළ හැකි කාරණා තුළයි. බුදුරජාණන් වහන්සේ මුළු විශ්වයම තම ප්‍රඥාවෙන් විමසා බලා, ලෝකයේ අතිශය දුර්ලභ කාරණා පහක් ඇති බව පෙන්වා දුන්නා කියලා අපි සඳහන් කළා.

එම දුර්ලභ කරුණු පහ තමයි.

  • බුද්ධුප්පාදෝ දුල්ලභෝ ලෝකස්මිං: බුදු කෙනෙකුගේ පහළ වීම අතිශය දුර්ලභයි කියන කාරණාව.
  • මනුස්සත්ත පටිලාභෝ දුල්ලභෝ: මනුෂ්‍ය ආත්මභාවයක් ලැබීම අතිශය දුර්ලභයි කියන කාරණාව.
  • දුල්ලභා සද්ධාසම්පත්ති: තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව (විශ්වාසය) ඇති වීම දුර්ලභයි කියන කාරණාව.
  • පබ්බජිතභාවෝ දුල්ලභෝ: පැවිදි බව ලැබීම දුර්ලභයි කියන කාරණාව.
  • සද්ධම්මසවනං දුල්ලභං: සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම දුර්ලභයි කියන කාරණාව.

ඔබටද,

  • ඔබ උපදින විට ලෝකයේ බුදු සසුන පවතී. (බුද්ධුප්පාදය ලැබී ඇත).
  • ඔබට මනුෂ්‍ය ජීවිතයක් ලැබී ඇත. (මනුස්සත්ත පටිලාභය ලැබී ඇත).
  • බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ විශ්වාස කරන ශ්‍රද්ධාවක් ඔබේ සිතේ ඇත (ශ්‍රද්ධා සම්පත්තිය ලැබී ඇත).
  • ගිහි පින්වතුන්ට පැවිද්ද නොලැබුණද, සසර දුක නිමා කිරීමට ගිහි අයටද මාර්ග ඵල ලැබිය හැකිය.
  • ඔබට නිර්මල බුදු දහම ඇසීමට ලැබේ (සද්ධර්ම ශ්‍රවණය ලැබී ඇත).

එහෙමනම් මේ ධර්ම ශ්‍රවණය කළ පින, මේ පින්වත් හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහා නිවන් සුවෙන් සැනසීම පිණිසම හේතු වේවා! වාසනා වේවා! උතුම් පාරමිතා ධර්මයක්ම වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා.

🙏 පින්වත් හැමදෙනාටම තෙරුවන් සරණයි! 🙏
ධර්මදානය පිණිස පහත buttons මගින් සමාජජාලා ඔස්සේ බෙදාහරින්න
ඕඝතරණ දහම් සංග්‍රහය | oghatharana.com

පූජ්‍ය කොළඹගම ධම්මදීප ස්වාමීන්වහන්සේ හා පුජ්‍යපාද දූල්වල යසස්සී ස්වාමීන්වහන්සේ විසින් සංසාර දුකින් අත්මිදීමට වෙර දරන උත්මතම උත්මාවන් උදෙසො පිදෙන ධර්ම දානයකි.

Post a Comment

ඔබගේ අදහස් පහතින් දක්වන්න.

Previous Post Next Post