ඕඝතරණ මාර්ගය: දේශනා අංක 02 - ඉදිරි දේශනා පෙළගැස්ම

ඕඝතරණ මාර්ගය දේශනා 02
ඕඝතරණ මාර්ගය: දේශනා අංක 02 - ඉදිරි දේශනා පෙළගැස්ම
🪷 දේශකයාණන් වහන්සේ: පූජ්‍ය කොළඹගම ධම්මදීප ස්වාමීන් වහන්සේ
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

ඒ භාග්‍යවත් වු අර්හත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි! මාගේ නමස්කාරය වේවා!

ඉතින් අද දවසේ එහි දෙවන දේශනාව තමයි මේ

ඕඝතරණ දහම් සංග්‍රහය යූටියුබ් නාලිකාව ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික බෞද්ධ පින්වත්නි, මේ පින්වතුන් සූදානම් වෙන්නේ අද තවත් එක් ධර්ම දේශනාවක් සමඟින් අපත් සමග එක්වන්නටයි. අපි ගිය දේශනාවේදී මේ දේශනා මාලාව පිළිබඳව හැදින්වීමක් කරන්නට යෙදුණා. ‘ඕඝතරණ මාර්ගය’ නමින් මේ දේශනා මාලාව නම් කරනවා කියලා අපි සඳහන් කරන්න යෙදුණා. අද දවසේ එහි දෙවන දේශනාව තමයි, ඕඝතරණ දහම් සංග්‍රහය යූටියුබ් නාලිකාව ඔස්සේ මෙලෙස අපි සිද්ධ කරන්නට යෙදෙන්නේ. ඉතින් අපි අද මේ දේශනාවේදී බලාපොරොත්තු වෙනවා, මේ ඕඝතරණ මාර්ගය නමින් සිද්ධ කරන්නට යෙදෙන දේශනා මාලාවේ පෙළගැස්ම පිළිබඳව මාතෘකා වශයෙන් ඉදිරිපත් කරන්න, කවර මාතෘකාවන් යටතේද ඉදිරියේදී මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්න ඉඩ සැලසෙන්නේ කියන කාරණාව පිළිබඳව සඳහන් කරන්න.

චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන්නට නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණෙන්නට ඕනී

ඉතින් අපි ගිය පලවෙනි දේශනාවේදී ආරම්භයක් හැටියට මේ සසර කතරින් එතෙර වීම උදෙසා, දුකින් නිදහස් වීම උදෙසා, අනුගමනය කලයුතු වැඩපිළිවල තමයි මේ දේශනා මාලාව තුළින් අපි ඔබට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවෙන්නේ කියලා කිව්වේ. ඉතින් පින්වතුනි, මේ සසර කතරින් එතෙර වෙන්නට නම් අපි හැමදෙනාම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන්න ඕනී. යම්කිසි කෙනෙක් මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන්නට නම් ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණෙන්නට ඕනී. පින්වත්නි, අපිට ඒ පිළිබඳව එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉසිපතනයේ මිගදායේදී ඒ පස්වග මහණුන් අරමුණු කරගෙන දහම් චක්‍රය පෙරලා හරිමින් දේශනා කරන ලද දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී සඳහන් කරනවා මෙන්න මේ විදිහට.

ද්වේ මේ භික්ඛවේ, අන්තා පබ්බජිතේන න සේවිතබ්බා. යෝචායං කාමේසු කාමසුඛල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝථුජ්ජනිකෝ අනරියෝ අනත්ථසංහිතෝ යෝ චායං අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථසංහිතෝ. එතේ තේ භික්ඛවේ, උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත‍්ත්ති. කතමා ච සා, භික්ඛවේ, මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති: අයමේව අරියෝ අට්ඨඞ‍්ගිකෝ මග්ගෝ.

මහණෙනි, ලාමක වූ ගැමි දහමක් වූ පුහුදුනන් විසින් සෙවුණු ආර්‍ය්‍යයන් සතු නොවූ අවැඩ ඇසුරු කළ කාමවස්තූන් කෙරෙහි යම් මේ ක්ලේශකාමයෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, දුක් වූ ආර්‍ය්‍යයන් සතු නුවූ අවැඩ ඇසුරු කළ යම් මේ සිරුර පෙළීමෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, පැවිද්දහු විසින් මේ අන්ත දෙක නො සෙවියයුතු. මහණෙනි, තථාගතයන් විසින් ඒ මේ අන්ත දෙකට නො පැමිණ පැනැස ඇති කරන නුවණැස ඇති කරන මැදුම් පිළිවෙත අවබෝධ කරන ලද්දේ කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී. මහණෙනි, තථාගතයන් විසින් අවබෝධ කරන ලද පැනැස ඇති කරන නුවණැස ඇති කරන ඒ කවර නම් මැදුම් පිළිවෙතෙක් කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී ද යත්: “මේ අරිඅටඟිමඟ මැ” යි.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණියා නම් ඔහු දකින්නේ චතුරාර්ය සත්‍යය ධර්මය, පටිච්ච සමුප්පාදය

මේ ආකාරයට කාමසුඛල්ලිකානුයෝගය, අත්තකිලමථානුයෝගය, කියන අන්ත දෙක අතහැරලා ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණීම තුළින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණා කියලා දේශනා කරනවා. පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ දේශනාවේ, කාමසුඛල්ලිකානුයෝගය, අත්තකිලමථානුයෝගය, කියන අන්ත දෙක අතහැරලා ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණීම තුළින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණා කියලා දේශනා කරන තැන, එතන ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගය පිළිබදව දේශනා කරලා තමයි මුළින් දේශනාව ආරම්භ කරන්නේ. හැබැයි පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්ගය පිළිබදව ඒ ආකාරයට දේශනාව ආරම්භ කරමින් ඉන් අනතුරුව දේශනා කරන්නේ, චතුරාර්ය සත්‍යය ධර්මයයි. පින්වත්නි, ඒකට හේතුව තමයි යම්කිසි කෙනෙක් මේ ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණියා නම් ඔහු දකින්නේ චතුරාර්ය සත්‍යය ධර්මය, පටිච්ච සමුප්පාදය. ඒ නිසා තමයි එතන ආරම්භයේදී ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගය පිළිබදව දේශනා කරලා ඉන් අනතුරුව චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කරන්නේ.

එන්න තියෙන තැන මුළින්ම දැනගන්න ඕනී

ඉතින් පින්වත්නි, ඔබද, මමද, අපි හැමදෙනාමද, දෙවියන් බඹුන් සහිත මේ ලෝකේ හැමදෙනාමද, චතුරාර්ය සත්‍යය ධර්මය දකින්නට නම් ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණිය යුතුයි. ආර්ය්‍ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන විට අපිට දකින්නට ලැබෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය, පටිච්ච සමුප්පාදය. එහෙනම් පින්වතුනි, අපි මේ සංසාරයෙන් එතෙර වෙන්නට නම් මොකක්ද කරන්න ඕනේ? චතුරාර්ය සත්‍යය ධර්මය දකින්නට තමයි ඕනී. චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන්නට ඕනී. ඉතින් එහෙනම්, චතුරාර්ය සත්‍යය ධර්මය දකින්නට නම් අපිට ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණෙන්නට වෙනවා. පින්වතුනි, එහෙනම් ඒ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය දකින්නේ ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණීම තුළින්. එහෙනම් ඔබට මට අපි හැමදෙනාටම දෙවියන් බඹුන් සහිත මේ ලෝකේ හැමදෙනාටම දුකින් නිදහස් වෙන්නට ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණෙන්නන්ට වෙනවා. ඉතිං ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගය කරා තමයි අපිට එන්න තියෙන්නේ. එන්න තියෙන තැන මුළින්ම දැනගන්න ඕනී. අපිට එන්න තියෙන තැන තමයි ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගය.

සත්ත බොජ්ඣඣංග ධර්ම ප්‍රත්‍ය කරගෙන තමයි ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගය උපදින්නේ

පින්වතුනි, එතකොට මේ ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණීම තුළින් තමයි චතුරාර්ය සත්‍යය ධර්මය දකින්නේ. චතුරාර්ය සත්‍යය ධර්මය දකින්න නම් ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණෙන්නන්ට අවශ්‍යයි. පින්වත්නි, මේ ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගය කියන්නේ, ඒක තියෙන එකක් නෙමෙයි. හේතු ප්‍රත්‍යයන් නිසා උපදින එකක්.

පින්වතුනි, මේ ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගය උපදින්න නම් සත්ත බොජ්ඣංග ධර්ම ප්‍රත්‍ය වෙනවා. එතකොට පින්වතුනි, අපි ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණෙන්නන්ට නම් සත්ත බොජ්ඣංග ධර්ම වඩන්නට ඕනේ. පින්වතුනි, එතකොට සත්ත බොජ්ඣංග ධර්ම ප්‍රත්‍ය කරගෙන තමයි ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගය උපදින්නේ.

පින්වත්නි, එතකොට මේ සත්ත බොජ්ඣංග ධර්ම උපදින්නත් හේතුවක් තියෙනවා ප්‍රත්‍යයක් තියෙනවා. ඒ සත්ත බොජ්ඣංග ධර්ම උපදින්නට හේතුව තමයි, ප්‍රත්‍යය තමයි, පංච බල ධර්ම. පංචබල ධර්ම හේතු කරගෙනයි, ප්‍රත්‍ය කරගෙනයි, සත්ත බොජ්ඣංග ධර්ම උපදින්නේ.

පින්වත්නි, එතකොට මේ පංචබල ධර්ම උපදින්නත් හේතුවක් තියෙනවා ප්‍රත්‍යයක් තියෙනවා. ඒ පංචබල ධර්ම උපදින්නට හේතුව තමයි, ප්‍රත්‍යය තමයි, පංච ඉන්ද්‍රිය ධර්ම. පංච ඉන්ද්‍රිය ධර්ම හේතු කරගෙනයි, ප්‍රත්‍ය කරගෙනයි, පංචබල ධර්ම උපදින්නේ.

පින්වත්නි, එතකොට මේ පංච ඉන්ද්‍රිය ධර්ම, උපදින්නත් හේතුවක් තියෙනවා, ප්‍රත්‍යයක් තියෙනවා. ඒ පංච ඉන්ද්‍රිය ධර්ම උපදින්නට හේතුව තමයි, ප්‍රත්‍යය තමයි, සතර සෘද්ධි පාද ධර්මයන්. සතර සෘද්ධි පාද ධර්මයන් හේතු කරගෙනයි, ප්‍රත්‍ය කරගෙනයි, පංච ඉන්ද්‍රිය ධර්ම උපදින්නේ.

පින්වත්නි, එතකොට මේ සෘද්ධි පාද ධර්මයන් උපදින්නත් හේතුවක් තියෙනවා ප්‍රත්‍යයක් තියෙනවා. ඒ සතර සෘද්ධි පාද ධර්මයන් උපදින්නට හේතුව තමයි, ප්‍රත්‍යය තමයි, සතර සම්‍යක්ප්‍රධාන වීර්ය්‍ය. සතර සම්‍යක්ප්‍රධාන වීර්යය හේතු කරගෙනයි, ප්‍රත්‍ය කරගෙනයි, සෘද්ධි පාද ධර්මයන් උපදින්නේ.

පින්වත්නි, එතකොට මේ සතර සම්‍යක්ප්‍රධාන වීර්යය උපදින්නත් හේතුවක් තියෙනවා ප්‍රත්‍යයක් තියෙනවා. ඒ සතර සම්‍යක්ප්‍රධාන වීර්යය උපදින්නට හේතුව තමයි, ප්‍රත්‍යය තමයි, සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය හේතු කරගෙනයි, ප්‍රත්‍ය කරගෙනයි, සතර සම්‍යක් ප්‍රධාන වීර්යය උපදින්නේ.

පින්වත්නි, එතකොට මේ සතර සතිපට්ඨානය වඩන්නත් හේතුවක් තියෙනවා ප්‍රත්‍යයක් තියෙනවා. ඒ සතර සතිපට්ඨානය වඩන්නට හේතුව තමයි, ප්‍රත්‍යය තමයි, සසර දුකින් අත්මිදීමේ අවශ්‍යතාවය. සසර දුකින් අත්මිදීමේ අවශ්‍යතාවය. හේතු කරගෙනයි, ප්‍රත්‍ය කරගෙනයි, සතර සතිපට්ඨානය වඩන්නේ.

පින්වත්නි, එතකොට මේ සසර දුකින් අත්මිදීමේ අවශ්‍යතාවය ඇතිවෙන්නත් හේතුවක් තියෙනවා ප්‍රත්‍යයක් තියෙනවා. ඒ සසර දුකින් අත්මිදීමේ අවශ්‍යතාවය ඇතිවෙන්නට හේතුව තමයි, ප්‍රත්‍යය තමයි, සසර පිළිබඳව භය ඇතිවීම. සසර පිළිබඳව භය ඇතිවීම, හේතු කරගෙනයි, ප්‍රත්‍ය කරගෙනයි, සසර දුකින් අත්මිදීමේ අවශ්‍යතාවය ඇති වෙන්නේ.

පින්වත්නි, එතකොට මේ සසර පිළිබඳව භය ඇතිවීමටත් හේතුවක් තියෙනවා ප්‍රත්‍යයක් තියෙනවා. ඒ සසර පිළිබඳව භය ඇතිවීමට හේතුව තමයි, ප්‍රත්‍යය තමයි, ජාති ජරා ව්‍යාධි මරණ ධර්මයන් පිළිබඳව විමසීම. ජාති ජරා ව්‍යාධි මරණ ධර්මයන් පිළිබඳව විමසීම, හේතු කරගෙනයි, ප්‍රත්‍ය කරගෙනයි, සසර පිළිබඳව භය ඇති වෙන්නේ.

පින්වත්නි, එතකොට මේ ජාති ජරා ව්‍යාධි මරණ ධර්මයන් පිළිබඳව විමසීමටත් හේතුවක් තියෙනවා ප්‍රත්‍යයක් තියෙනවා. ඒ ජාති ජරා ව්‍යාධි මරණ ධර්මයන් පිළිබඳව විමසීමට හේතුව තමයි, ප්‍රත්‍යය තමයි, ලෞකික සම්මා දිට්ඨිය ඇතිවීම. ලෞකික සම්මා දිට්ඨිය ඇතිවීම, හේතු කරගෙනයි, ප්‍රත්‍ය කරගෙනයි, ජාති ජරා ව්‍යාධි මරණ ධර්මයන් පිළිබඳව විමසන්නේ.

පින්වත්නි, එතකොට මේ ලෞකික සම්මා දිට්ඨිය ඇතිවීමටත්, හේතුවක් තියෙනවා ප්‍රත්‍යයක් තියෙනවා. ඒ ලෞකික සම්මා දිට්ඨිය ඇතිවීමට හේතුව තමයි, ප්‍රත්‍යය තමයි, අකුසල නිමිති හඳුනාගැනීම, කුසල නිමිති හඳුනාගැනීම. අකුසල නිමිති හඳුනාගැනීම, කුසල නිමිති හඳුනාගැනීම හේතු කරගෙනයි, ප්‍රත්‍ය කරගෙනයි, ලෞකික සම්මා දිට්ඨිය ඇතිවෙන්නේ.

පින්වත්නි, එතකොට මේ අකුසල නිමිති හඳුනාගැනීමටත්, කුසල නිමිති හඳුනාගැනීමටත්, හේතුවක් තියෙනවා ප්‍රත්‍යයක් තියෙනවා. ඒ අකුසල නිමිති හඳුනාගැනීමට, කුසල නිමිති හඳුනාගැනීමට, හේතුව තමයි, ප්‍රත්‍යය තමයි, අකුසල මූලයන් හදුනාගැනීම, කුසල මූලයන් හදුනාගැනීම. අකුසල මූලයන් හදුනාගැනීම, කුසල මූලයන් හදුනාගැනීම, හේතු කරගෙනයි, ප්‍රත්‍ය කරගෙනයි, අකුසල නිමිති හඳුනාගැනීම, කුසල නිමිති හඳුනාගැනීම සිදුවෙන්නේ.

පින්වත්නි, එතකොට මේ අකුසල මූලයන් හදුනාගැනීමටත්, කුසල මූලයන් හදුනාගැනීමටත් හේතුවක් තියෙනවා ප්‍රත්‍යයක් තියෙනවා. ඒ අකුසල මූලයන් හදුනාගැනීමට, කුසල මූලයන් හදුනාගැනීමට, හේතුව තමයි, ප්‍රත්‍යය තමයි, අකුසලය හදුනාගැනීම, කුසලය හදුනාගැනීම. අකුසලය හදුනාගැනීම, කුසලය හදුනාගැනීම, හේතු කරගෙනයි, ප්‍රත්‍ය කරගෙනයි, අකුසල මූලයන් හදුනාගැනීම, කුසල මූලයන් හදුනාගැනීම සිදුවෙන්නේ.

පින්වත්නි, එතකොට මේ අකුසලය හදුනාගැනීමටත්, කුසලය හදුනාගැනීමටත් හේතුවක් තියෙනවා ප්‍රත්‍යයක් තියෙනවා. ඒ අකුසලය හදුනාගැනීමට, කුසලය හදුනාගැනීමට, හේතුව තමයි, ප්‍රත්‍යය තමයි, සද්ධර්මය ශ්‍රවණය කිරීම. සද්ධර්මය ශ්‍රවණය කිරීම හේතු කරගෙනයි, ප්‍රත්‍ය කරගෙනයි, අකුසලය හදුනාගැනීම, කුසලය හදුනාගැනීම සිදුවෙන්නේ.

පින්වත්නි, එතකොට මේ සද්ධර්මය ශ්‍රවණය කිරීමටත්, හේතුවක් තියෙනවා ප්‍රත්‍යයක් තියෙනවා. ඒ සද්ධර්මය ශ්‍රවණය කිරීමට, හේතුව තමයි, ප්‍රත්‍යය තමයි, කල්‍යාණ මිත්‍ර සේවනය. කල්‍යාණ මිත්‍ර සේවනය හේතු කරගෙනයි, ප්‍රත්‍ය කරගෙනයි, සද්ධර්මය ශ්‍රවණය කිරීම සිදුවෙන්නේ,

පින්වත්නි, එතකොට මේ කල්‍යාණ මිත්‍ර සේවනයටත් හේතුවක් තියෙනවා ප්‍රත්‍යයක් තියෙනවා. ඒ කල්‍යාණ මිත්‍ර සේවනයට, හේතුව තමයි, ප්‍රත්‍යය තමයි, පෙර පින් ඇති බව. පෙර පින් ඇති බව හේතු කරගෙනයි, ප්‍රත්‍ය කරගෙනයි, කල්‍යාණ මිත්‍ර සේවනය සිදුවෙන්නේ,

එතකොට පෙර පින ප්‍රත්‍ය කරගෙන, කල්‍යාණ මිත්‍රයන් සේවනය කරනවා.

කල්‍යාණ මිත්‍රයන් සේවනය ප්‍රත්‍ය කරගෙන, සද්ධර්මය ශ්‍රවණය කරනවා.

සද්ධර්මය ශ්‍රවණය කිරීම ප්‍රත්‍ය කරගෙන, අකුසලය කුසලය හඳුනාගන්නවා.

අකුසලය කුසලය හඳුනා ගැනීම ප්‍රත්‍ය කරගෙන, අකුසල මූලයන් කුසල මූලයන් හඳුනාගන්නවා.

අකුසල මූලයන් කුසල මූලයන් හඳුනා ගැනීම ප්‍රත්‍ය කරගෙන, අකුසල නිමිති කුසල නිමිති හඳුනාගන්නවා.

අකුසල නිමිති කුසල නිමිති හඳුනා ගැනීම ප්‍රත්‍ය කරගෙන, ලෞකික සම්මා දිට්ඨිය ඇතිවෙනවා.

ලෞකික සම්මා දිට්ඨිය ඇතිවීම ප්‍රත්‍ය කරගෙන, ජාති ජරා ව්‍යාධි මරණ ධර්මයන් පිළිබඳව නැවත නැවත හිතන්න කල්පනා කරන්නට හිත නැඹුරු වෙනවා.

ජාති ජරා ව්‍යාධි මරණ ධර්මයන් පිළිබඳව නැවත නැවත හිතන්න කල්පනා කරන්නට හිත නැඹුරු වීම ප්‍රත්‍ය කරගෙන, සසර පිළිබඳ භය ඇතිවෙනවා.

සසර පිළිබඳ භය ඇතිවීම ප්‍රත්‍ය කරගෙන, සසර දුකින් අත්මිදීමේ අවශ්‍යතාවය ඇතිවෙනවා.

සසර දුකින් අතමිදීමේ අවශ්‍යතාවය ප්‍රත්‍ය කරගෙන, සතර සතිපට්ඨානය වඩනවා.

සතර සතිපට්ඨානය වැඩීම ප්‍රත්‍ය කරගෙන, සතර සම්‍යක්ප්‍රධාන වීර්යය ඇතිවෙනවා.

සතර සම්‍යක්ප්‍රධාන වීර්යය ප්‍රත්‍ය කරගෙන, සතර සෘද්ධිපාද ධර්මයන් වැඩෙන්නට ගන්නවා.

සතර සෘද්ධිපාද ධර්මයන් ප්‍රත්‍ය කරගෙන, පංච ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්නට ගන්නවා.

පංච ඉන්ද්‍රිය ධර්මයන් ප්‍රත්‍ය කරගෙන, පංච බල ධර්මයන් වැඩෙන්නට ගන්නවා.

පංච බල ධර්මයන් ප්‍රත්‍ය කරගෙන, සත්ත බොජ්ඣංග ධර්මයන් වැඩෙන්නට ගන්නවා.

සත්ත බොජ්ඣඣංග ධර්මයන් ප්‍රත්‍ය කරගෙන, ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගය උපදිනවා.

මේ විදිහට ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණෙනවා. ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණීම තුළින් චතුරාර්ය සත්‍යය ධර්මය, පටිච්ච සමුප්පාදය දකිනවා.

ඔන්න ඔය විදිහට පින්වතුනි, චතුරාර්ය සත්‍යය ධර්මය දකිනකොට, පටිච්ච සමුප්පාදය දකිනකොට, සසර භව ගමන කෙළවර වෙන තැනට පැමිණියා වෙනවා. සසර දුකින් නිදහස් වෙනහැටි දකිනවා. සසර දුකින් නිදහස් වීම කියන කාරණාව අන්න තමන් තුළින් මේ විදිහට ධර්මය තුළ පිහිටලා දැක්කා වෙනවා.

එහෙනම් පින්වතුනි දැන් මේ පින්වතුන්ට, ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණෙන්නන්ට ගමන් කළ යුතු මාර්ගය, ගමන් මග පැහැදිළි ඇති. අපි ‘ඕඝතරණ මාර්ගය’ නමින් නම් කරමින් මෙන්න මේ මාතෘකාවන් යටතේ ඔබට අපේ ශක්ති ප්‍රමාණයෙන් ධර්මය කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා.

ඒ මාතෘකා තමයි

  • පෙර පින් ඇති බව.
  • කල්‍යාණ මිත්‍ර සේවනය.
  • සද්ධර්මය ශ්‍රවණය කිරීම.
  • අකුසලය, කුසල හඳුනාගැනීම.
  • අකුසල මූලයන්, කුසල මූලයන් හඳුනාගැනීම.
  • අකුසල නිමිති, කුසල නිමිති හඳුනාගැනීම.
  • ලෞකික සම්මා දිට්ඨිය හඳුනාගැනීම.
  • ජාති, ජරා, ව්‍යාධි, මරණ ධර්ම පිළිබඳව විමසීම.
  • සසර පිළිබඳ භය ඇතිවීම.
  • සසර දුකින් අත්මිදීමේ අවශ්‍යතාවය ඇතිවීම.
  • සතර සතිපට්ඨානය වැඩීම.
  • සතර සම්‍යක්ප්‍රධාන වීර්යය වැඩීම.
  • සතර සෘද්ධි පාද ධර්මයන් වැඩීම.
  • පංච ඉන්ද්‍රිය ධර්මයන් වැඩීම.
  • පංච බල ධර්මයන් වැඩීම.
  • සත්ත බොජ්ඣංග ධර්මයන් වැඩීම.
  • ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණීම.
  • චතුරාර්ය සත්‍යය ධර්මය.
  • පටිච්ච සමුප්පාදය.

ධර්මය හොඳින් සිත තුළ දරාගන්න ඕනී

මේ මාතෘකාවන් විස්ස ඔස්සේ තමයි, අපි මේ ‘ඕඝතරණ මාර්ගය’ හැටියට ආරම්භ කරපු ධර්ම දේශනා මාලාව තුළින්, ඉදිරියේදී ඔබට අනුපිළිවෙළින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතනදි පින්වතුනි, ඔබ දක්ෂ වෙන්න ඕනී, අපි හරි පිළිවෙලට මුල ඉඳන්ම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන තැන දක්වාම මාතෘකා වශයෙන් පිළිවෙලට මේ බුද්ධ ශාසනය තුළ අකුසලය හඳුනාගෙන අකුසලය දුරු කරන හැටි, කුසලය හඳුනාගෙන කුසලය දියුණු කරන හැටි කියලා දෙනවා. එතනදි මේ පින්වතුන්, ධර්මය හොඳින් ශ්‍රවණය කරන්න ඕනී. ශ්‍රවණය කරන ලද ධර්මය හොඳින් සිත තුළ දරාගන්න ඕනී. දරාගත්ත ධර්මයට අනුව හැසිරෙමින් ඒ ධර්මය තමන් තුළින් දකින්නට උත්සාහ කරන්න ඕනී. මේ ධර්මය තමන් තුළින් දකිනකොටයි, ධර්මය ඔස්සේ අපිට අර ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගය කරා යන ගමන ආරම්භ වෙන්නේ. ඒ වගේම චතුරාර්ය සත්‍යය ධර්මය දකින මේ ජිවිතයේ වැඩ ඇරඹුවා වෙන්නේ.

අපේ චිත්ත සන්තානය තුළ සති සමාධි ප්‍රඥා උපදිනවා

ඔබ ධර්මය පුරුදු පුහුණු කරන කොට, ඔබට මේ ධර්මය තුළ තියෙන ඉදිරියට ඉදිරියට පමුණුවන ස්වභාවය දකින්නට පුළුවන් වෙනවා. ඉදිරියට ඉදිරියට පමුණුවනවා කියන්නේ, අපි හිතමුකෝ අපි අකුසලය කුසලය හඳුනාගත්තා කියලා, ඒ හඳුනාගැනීම ප්‍රත්‍ය කරගෙන ඊළඟ දහම් ස්වභාවය හඳුනා ගැනීමට පමුණුවන ගතියක් මේ ධර්මය තුළ තියෙනවා. ඒක තමයි මේ ධර්මයේ තියෙන ඕපනයික ගුණය. ඒක සිද්ධ වෙන්නේ, අපි ධර්මය පුරුදු කරන කොට, අපේ චිත්ත සන්තානය තුළ සති සමාධි ප්‍රඥා උපදිනවා. ඒ උපදින සති සමාධි ප්‍රඥා වැඩෙන්න වැඩෙන්න මේ ධර්මයේ ඉදිරියට ඉදිරියට යෑම ඉදිරියට ඉදිරියට පැමිණ වීම සිද්ධ වෙනවා. එහෙනම් මේ පින්වත් ඇත්තෝ ධර්ම ශ්‍රවණය කරලා ඒ ධර්මය හොඳට නුවණින් විමසනකොට ඒ දහම් ස්වභාවයන් තමන් තුළින් දකින්නට පුළුවන් වෙනවා. එහෙම ඒ දහම් ස්වභාවයන් දකිනකොට ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගය දක්වා ගමන් කරන ගමන ආරම්භ වෙන්නට පටන් ගන්නවා.

එහෙනම් මේ පින්වත් හැමදෙනාටම තෙරුවන් සරණයි

ඉතිං ඒ නිසා අපි අද දවසෙත් නැවත කියනවා, මේ අපේ ශක්ති ප්‍රමාණයෙන් ඔබට සසර දුකින් නිදහස් වීම උදෙසා, සිද්ධ කරන කටයුක්තක්. මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළින්, ඒ ඔබට සසර දුකින් නිදහස් වීමේ වැඩපිළිවෙල, පැහැදිලි වේවා! ඒ ගමන් මග නිරවුල් වේවා! ඉතාමත්ම ඉක්මනින් අප්‍රමාදීව ආර්ය්‍ය අෂ්ඨාංගික මාර්ගයට ගමන් කිරීමට මේ ධර්ම ශ්‍රවණය කළ පින මේ පින්වත් හේතු වාසනා වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා. අපි මේ විදිහට වැඩසටහන් පෙළගැස්ම පිළිබඳව විස්තර කරමින් පවත්වන්නට යෙදුනු ධර්ම දේශනාව අවසාන කරනවා.

ඊළඟට තුන්වෙනි දේශනාවේදී අපි ඔබට පෙර පින් ඇති බව පිළිබඳව විස්තර කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ පින්වත් හැම දෙනාටම තෙරුවන් සරණයි.

🙏 මේ පින්වත් හැමදෙනාටම තෙරුවන් සරණයි! 🙏
ධර්මදානය පිණිස පහත buttons මගින් සමාජජාලා ඔස්සේ බෙදාහරින්න
ඕඝතරණ දහම් සංග්‍රහය | oghatharana.com

පූජ්‍ය කොළඹගම ධම්මදීප ස්වාමීන්වහන්සේ හා පුජ්‍යපාද දූල්වල යසස්සී ස්වාමීන්වහන්සේ විසින් සංසාර දුකින් අත්මිදීමට වෙර දරන උත්මතම උත්මාවන් උදෙසො පිදෙන ධර්ම දානයකි.

Post a Comment

ඔබගේ අදහස් පහතින් දක්වන්න.

Previous Post Next Post