නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
ඒ භාග්‍යවත් වු අර්හත් වු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි! මාගේ නමස්කාරය වේවා!
ඉතින් අද දවසේ එහි තුන්වෙනි දේශනාව තමයි මේ
ඕඝතරණ දහම් සංග්‍රහය යූටියුබ් නාලිකාව ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික බෞද්ධ පින්වත්නි, මේ පින්වතුන් සූදානම් වෙන්නේ අද තවත් එක් ධර්ම දේශනාවක් සමඟින් අපත් සමග එක්වන්නටයි.
ඉතින් අපි ගිය දේශනාවේදී මේ දේශනා මාලාවේ, දේශනා පෙළගැස්ම පිළිබඳව හැදින්වීමක් කරන්නට යෙදුණා. ඉතින් අද දවසේ එහි තුන්වෙනි දේශනාව තමයි මේ පින්වතුන්ට, ‘ඕඝතරණ මාර්ගය’ නැමැති දේශනා මාලාව ඔස්සේ මෙලෙස අපි සිද්ධ කරන්නට යෙදෙන්නේ. ඉතින් අපි පළවෙනි ධර්ම දේශනාවේදී මේ දේශනා මාලාව පිළිබඳව යම් හැඳින්වීමක් සිද්ධ කරන්නට යෙදුනා. ඒ වගේම දෙවන දේශනාවේදී ඉදිරි දේශනා පිළිබඳව, දේශනා පෙළගැස්ම පිළිබඳව, දේශනාවන්හි මාතෘකාවන් පිළිබඳව සිහිපත් කරන්නට යෙදුනා. දේශනා කරන්න යෙදුනා.
ඉතින් අද දවසේ දේශනාව, තුන්වෙනි දේශනාව එහි අර පෙළගැස්මේ අපි මාතෘකාව වශයෙන් තබන්නට යෙදුනු ‘පෙර පින් ඇති බව’කියන මාතෘකාව, පළවෙනි මාතෘකාව පිළිබඳව තමයි අද මේ දේශනාවේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පින්වත් හැමදෙනාටමත් දෙවියන් බඹුන් සහිත ලෝකයේ හැමදෙනාටමත් මේ ධර්ම දේශනාව ධර්මාවබෝධය පිණිසම හේතු වේවා වාසනා වේවා! කියන පැතුමෙන්, ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව ආරම්භ කරනවා.
පෙර පින් ඇති බව
ඉතින් අපි පළවෙනි දේශනාවේදී මේ දේශනා මාලාව පිළිබඳව හැඳින්වීමක් සිද්ධ කරන්න යෙදුනා. දෙවනි දේශනාවේදී පින්වත්නි අපි මේ දේශනා මාලාවේ පෙළගැස්ම පිළිබඳව මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරන්න යෙදුනා, ඉදිරියේ කවර ආකාර මාතෘකාව ඔස්සේද මේ දේශනා අපි සිද්ධ කරගෙන යන්නේ කියලා. ඉතින් අද ඒකේ පළවෙනි මාතෘකාව හැටියට අපිට අද තුන්වෙනි දේශනාව ආරම්භ කරන්න තියෙන්නේ, ‘පෙර පින් නැති බව’කියන කාරණාව පිළිබඳව. ඉතින් එතනින් තමයි අපි මේ දේශනා මාලාව ආරම්භ කරන්නේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න යන ගමන ආරම්භ වෙන්නේ, ආරම්භ කරන්නේ, ආරම්භ වෙන්න තියෙන්නේ. අපිට ඒ පිළිබඳව දැනුවත් වෙන්න තියෙන්නේ, මේ ‘පෙර පින් ඇති බව’ කියන කාරණාව මත පදනම් වෙලා එතනින් ඉදිරියට යන්න තියෙන්නේ.
මේ මනුස්ස ලෝකයට ආපු කාරණාව අමතක වෙලා
ඉතින් පින්වත්නි, අපි බොහෝ සංසාරයේ දාන සීල භාවනාදී වශයෙන් නොයෙකුත් ඒ පෙර බුද්ධ ශාසන වල නිවන ප්‍රාර්ථනා කරගෙන බොහෝ පින්කම් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඒ සංසාරෙත් අපි, ඒ බුද්ධ ශාසන වලත් අපි ඒ බුද්ධ ශාසන වලින් බැහැරවත් අපි පින්වතුනි පින් කරද්දී පින් කරලා අපි ප්‍රාර්ථනා කළේ, දැන් මේ පින්වත් ඇත්තෝ අපි දන්නවා මල් පූජාවක් කළත්,බුද්ධ උපස්ථානයක් කළත්, සංඝ උපස්ථානයක් කළත්, ඒ වගේම මව්පියන්ට උපස්ථාන කළත්, ඒ වගේම තිරිසන් සතෙකුට කෑම ටිකක් දුන්නත්, ඒ කෑම ටිකක් දීලා පවා මේ පින්වත් ඇත්තෝ ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද?
මේ ඝෝර කටුක භයානක සංසාරයෙන් අතමිදෙන්න, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න, අමා මහා නිවනින් සැනසෙන්න මේ සිද්ධ කරන්නා වූ මේ උදාර පින්කම මට හේතු වේවා! වාසනා වේවා! කියන පැතුම ප්‍රාර්ථනාව තමයි තියෙන්නේ.
එතකොට මේ පින්වත් ඇත්තෝ පෙර සංසාරයෙත් මේ ජීවිතයෙත් පින් කරලා, කුසල් කරලා, මොනවද ප්‍රාර්ථනා කරලා තියෙන්නේ,නිවන. චතුරාර්ය ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඕනි කියලා තමයි,ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න,මේ පින හේතු වේවා! වාසනා වේවා! කියන පැතුම, ප්‍රාර්ථනාව තමයි, මේ පින්වත් ඇත්තන්ට තිබිලා තියෙන්නේ.
එහෙනම් අපි තේරුම් ගන්නට ඕන පෙර ජීවිතයෙන් මේ ජීවිතයට එනකොට අපිට උදව් වුණේ, උපකාර වුණේ ‘නිවන් දකින්න ඕන’ කියලා කරගත්ත පින. නිවන් දකින්න ඕනි කියලා කරගත්ත කුසලය තමයි. එතකොට එහෙනම් මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා තියෙන්නෙම, අපි මොකටද?
“නිවන් දකින්න ඕන” කියලා තමයි. මෙන්න මේක තමයි එහෙනම් මේ මනුස්ස ලෝකයට අපි එන්න උදව් වෙච්ච, උපකාර වෙච්ච කාරණාව. “මනුස්ස ලෝකයට ඇයි ආවේ?” කියලා ඇහුවොත්, මනුස්ස ලෝකයට ආවේ එහෙනම්, “නිවන් දකින්න ඕනි” කියලා.
නමුත් පින්වතුනි අද බොහෝ දෙනෙකුට අන්න ඒ කාරණාව අමතක වෙලා. අමතක කරලයි ඉන්නේ. බොහෝම අමාරුවෙන් පින් කරගෙන, පින් කරගෙන මේ පිනෙන් මනුස්ස ලෝකයට නිවන් දකින්න ඕනි කියලා ආපු අපිට, මේ මනුස්ස ලෝකයට ආපු කාරණාව අමතක වෙලා. ඒ අමතක වීම නිසා පින්වතුනි අපි ප්‍රමාදය තුළ ඔහේ නොයෙකුත් වෙන වෙන දේවල් සිද්ධ කරමින් ඉන්නවා.
පන්ලක්ෂ දොළොස් දහසක් බුද්ධ ශාසනය අපිට අතහැරුනා නිවන නොලබාම
බුද්ධ ශාසනයක් අවශ්‍ය නැහැ පින්වතුනි ඔය දේවල් කරන්න. බුද්ධ ශාසනයක් ලැබිච්ච කාලය තුළ අප්‍රමාදීව නිවන් දකින්නට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න උත්සාහ කරන්නට ඕනේ. අපි එහෙනම් මේ මනුස්ස ලෝකෙට ආවේම ඔන්න ඕකයි.
එතකොට මේ මනුස්ස ලෝකයට ආපු කාරණාව අමතක වීම නිසා පින්වතුනි අපිට මේ බුද්ධ ශාසනය තුළත් පිහිටක් ලබන්න තියෙන අවස්ථාව තමයි ගෙවිලා යන්නේ. පින්වත්නි, අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරණ කාලේ 51200ක් බුදුරජාණන් වහන්සේලා සම්මුඛ වෙලා තියෙනවා කියලා ධර්මය තුළ සඳහන් වෙනවා. එතකොට පින්වතුනි මේ දීර්ඝ සංසාරයේ එනකොට ඔබටද මටද අපි හැමදෙනාටද මේ බුද්ධ ශාසන මේ විදිහටම හම්බ වෙලා අතහැරුණා. ඒ තැන්වල පිහිටක්, සරණක්, ආරක්ෂාවක්,රැකවරණයක් අපිට මේ සසර ගමනින් නිදහස් වීම උදෙසා අපිට සාක්ෂාත් කරගන්නට නොහැකි වෙලා තියෙනවා.
එහෙම තිබ්බ නම් අපි මේ තැනට මේ අද සංසාරයේ පත්වෙලා මේ සංසාර ගමන අවසන් කරන මාර්ගයක් දකින්නේ නැතුව මෙහෙම ගමන් කරන්නේ නෑ. අපිට අදටත් හරියට පින්වතුනි සංසාරේ කොතනින් කොහොම කෙළවර වෙනවද කියලා දන්න දකින නුවණක් නෑ. ඒ දන්න දකින නුවණ ඇතිවෙන්නේ, මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය තුළ අපි ක්‍රමානුකූලව හැසිරෙනකොටයි.
උතුම් තුණුරුවන සරණ ගිය අපි
එහෙනම් හිතන්න, කල්පනා කරන්න “බුද්ධං සරණං ගච්ඡාමි” කියලා ඒ උතුම් බුද්ධ රත්නය, අපි සරණ ගියා. “ධම්මං සරණං ගච්ඡාමි” කියලා ඒ උතුම් ධර්ම රත්නය, අපි සරණ ගියා. “සංඝං සරණං ගච්ඡාමි” කියලා ඒ උතුම් සංඝරත්නය, අපි සරණ ගියා.
මේ උතුම් තුණුරුවන සරණ ගිය අපි, ඒ බුද්ධ රත්නයේ පිහිටක්, සරණක්, ආරක්ෂාවක් නොලබාම, ධර්මරත්නයේ පිහිටක්, සරණක්, ආරක්ෂාවක්, සංඝරත්නයේ පිහිටක්, සරණක්, ආරක්ෂාවක් නොලබාම, මේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නේ නැතුව මිය පරළොව ගියොත් අපිට මොකද වෙන්නේ? ඒ පිහිට, ඒ පිළිසරණ අපිට අතහැරිලා යනවා. මේ බුද්ධ ශාසනයත් අර පෙර බුද්ධ ශාසන අතහැරුණා වගේ අතහැරිලා යනවා.
ඉතින් හිතන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ පෙර පින් කරලා, පෙර පින් තියෙන අපිට මේ සංසාරේ මේ මනුස්ස ලෝකයට ඇවිදින්, මනුස්සාත්මභාව පටිලාභයක් ලබලා, ඒ පෙර පින,මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නේ නැතුව පින්වතුනි අතහැරිලා මේ ජීවිතයෙන්, මේ මනුස්ස ජීවිතයෙන් අපි මේ සමුගන්නවා කියන්නේ, මනුස්ස ජීවිතයේ ධර්මාවබෝධය කරන්නේ නැතුව මිය පරලොව යනවා කියන්නේ, ඒක මහා අවාසනාවක්! මහා අභාග්‍යයක්!
අරිහත්වයට පත්වෙන්න පින් තිබුණා
පින්වතුනි, බුදුරජාණන් වහන්සේ, බලන්න මෙන්න මේ කාරණාව එදා ආනන්ද හාමුදුරුවන්ට, මෙන්න මේ ආකාරයෙන් සඳහන් කරනවා. “ආනන්දය! අර මහධන සිටුපුත්‍රයා පේනවද?” පාරේ සිගාකමින් සිටි මහධන සිටු පුත්‍රයා පෙන්නලා, ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා. “එහෙමයි ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස” කියලා ආනන්ද හාමුදුරුවන්, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පිළිවදන් දෙනවා.
“ආනන්දය! මේ මහධන සිටුපුත්‍රයා තමන්ගේ ජිවිතයේ මුල් කාලයේ මේ කර්මාන්ත හොඳට කළා නම්, ඒ කර්මාන්ත කරගෙන හිටියා නම්, අද මෙහෙම මහාපාරට වැටෙන්නේ නැහැ. මේ නගරයේ පලමු සිටු තනතුර ලබනවා. හැබැයි මුල් කාලේ මේ කර්මාන්තයන්, දේපොළ අතහැරලා පැවිදි වුනා නම්, මේ බුද්ධ ශාසනය තුළ පින්වත් ආනන්දය! මේ මහධන සිටු පුත්‍රයාට අරිහත්වයට පත්වෙන්න පින් තිබුණා. අරිහත්වයට පත්වෙන්න හේතු තිබුණා” කියලා ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කරනවා.
අනාගාමී ඵලයට පත්වෙන්න පින් තිබුණා
ඒ වගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේ නැවත මෙහෙම සඳහන් කරනවා. “ආනන්දය! මේ මහධන සිටුපුත්‍රයා තමන්ගේ ජිවිතයේ දෙවන වියේදී මේ කර්මාන්ත හොඳට කළා නම්, ඒ කර්මාන්ත කරගෙන හිටියා නම්, අද මෙහෙම මහාපාරට වැටෙන්නේ නැහැ. මේ නගරයේ දෙවැනි සිටු තනතුර ලබනවා. හැබැයි දෙවැනි වියේදී මේ කර්මාන්තයන්, දේපොළ අතහැරලා පැවිදි වුනා නම්, මේ බුද්ධ ශාසනය තුළ, පින්වත් ආනන්දය! මේ මහධන සිටු පුත්‍රයාට අනාගාමී ඵලයට පත්වෙන්න පින් තිබුණා. අනාගාමී ඵලයට පත්වෙන්න හේතු තිබුණා” කියලා ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කරනවා.
සකෘදාගාමී ඵලයට පත්වෙන්න පින් තිබුණා
ඒ වගේම පින්වතුනි බුදුරජාණන් වහන්සේ නැවත මෙහෙම සඳහන් කරනවා. “ආනන්දය! මේ මහධන සිටුපුත්‍රයා තමන්ගේ ජිවිතයේ අවසන් වියේදී හෝ මේ කර්මාන්ත හොඳට කළා නම්,ඒ කර්මාන්ත කරගෙන හිටියා නම්, අද මෙහෙම මහාපාරට වැටෙන්නේ නැහැ. මේ නගරයේ තෙවැනි සිටු තනතුර ලබනවා. හැබැයි අවසන් වියේදී මේ කර්මාන්තයන්, දේපොළ අතහැරලා පැවිදි වුනා නම්, මේ බුද්ධ ශාසනය තුළ, පින්වත් ආනන්දය! මේ මහධන සිටු පුත්‍රයාට සකෘදාගාමී ඵලයට පත්වෙන්න පින් තිබුණා. සකෘදාගාමී ඵලයට පත්වෙන්න හේතු තිබුණා” කියලා ආනන්ද හාමුදුරුවන්ට සඳහන් කරනවා.
අපිත් බොහෝ පෙර පින් තියෙන අය
ඉතින් එතකොට බලන්න පින්වත්නි, ඔබේ මගේ අපි තුළ මේ නිවන් දැකීමේ හැකියාව, නිවන් දැකීමේ කුසලය පෙර සංසාරයෙන් අපි පින මත සිද්ධ කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි බලන්න ඕනේ,අපි කල්පනා කරන්න ඕනේ, අපි තුළ තියෙන ඒ පෙර පින පිළිබඳව කියවාගන්න. පෙර පින පිළිබඳව කියවාගෙන පින්වත්නි, අපි මේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න උත්සාහවන්ත වෙන්න ඕනේ.
ඒ වගේම බලන්න ඕනේ, පෙර පින් තිබිලා මේ බුද්ධ ශාසනයේ නිවන් දැකපු අයට, පෙර පින නිසා මොනවද ලැබුණේ? අපිට පෙර පින් තියෙන බව අපිට කියවා ගන්නට වෙන්නේ පෙර පින් කරලා මේ බුද්ධ ශාසනය මත ඒ පෙර පිනින් ඒ අයට ලැබිච්ච දේවල් අපිටත් ලැබිලා තියෙනවා නම්, “ඔව්! අපිටත් පෙර පිනින් නිවන් දකින්නට අවශ්‍ය කරන හේතු සම්පත් තියෙනවා. අපිත් බොහෝ පෙර පින් තියෙන අය කියලා.” ආන්න අපි කියවාගන්නවා.
එතකොට පින්වතුනි ඒ කියවා ගැනීමත් එක්ක, “ඒ නිවන් දැකීමේ කුසලය ඒ නිවන් දැකීමේ හැකියාව අපි තුළත් තියෙනවා, ඒ කුසලතාවය ඒ හැකියාව අපි ටිකෙන් ටික, ටිකෙන් ටික හඳුනාගෙන දියුණු කරන්න ඕනි”කියන කාරණාවත් පින්වත්නි ඔබ අප හැමදෙනාම තේරුම් ගන්න ඕනේ.
ඒ වගේම පින්වතුනි පෙර පින් කරලා නිවන ප්‍රාර්ථනා කරලා ප්‍රාර්ථනාවෙන් එන්න පුළුවන් දුරක් තියෙනවා. ප්‍රාර්ථනාවෙන් යන්න පුළුවන් දුරක් තියෙනවා. ප්‍රාර්ථනාවෙන් එන්න පුළුවන් උපරිම දුර පින්වතුනි ඔබ මම අප හැමදෙනාම දැන් ඇවිදින් තියෙන්නේ. මෙතනින් එහාට ඒ ප්‍රාර්ථනාවෙන් යන්න පුළුවන්කමක් හැකියාවක් ලැබෙන්නේ නැහැ, මේ ජිවිතයේ නිවන් දකින්න.
පින්වත්! හැම දෙනාටම තෙරුවන් සරණයි!
ඉතින් පින්වතුනි, අපි ඊළඟ දේශනාවේදී මේ පින්වත් ඇත්තන්ට සඳහන් කරනවා, පෙර පින් කරපු අයට මේ පෙර පින නිවන් දකින්නට, චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන්නට, ලැබුණේ මොනවද? කියලා. ප්‍රාර්ථනාවෙන් කොතෙන්ටද එන්න පුළුවන්? කියලා. එහෙනම් පින්වතුනි, ඒ කියන කරුණු කාරණා ටික අපි ඊළඟ දේශනාවෙන් මේ පින්වත් ඇත්තන්ට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේ පින්වත් ඇත්තෝ හිතන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ එහෙනම් මේ දේශනාව තුළ පිහිටලා,
- අපි සංසාරයේ බොහෝ කාලයක් පෙර පින් කරගෙන තියෙනවා.
- පෙර පින් කරලා තියෙන්නේ මේ ආකාරයෙන්.
- පෙර පින් කරගෙන තමයි මේ මනුස්ස ලෝකයට ආවේ.
- මනුස්ස ලෝකයට ඇවිල්ලා තියෙන්නේ නිවන් දකින්නයි.
- ඒ කාරණාව මට දැන් අමතක වෙලායි තියෙන්නේ.
ආන්න ඒ අමතක වීම ආයෙත් ‘නිවන් දකින්න ඕනි, මේ ජීවිතයේ, මේ බුද්ධ ශාසනයේ, කියන කාරණාව’ මතක් කරගන්න කියලා මේ දේශනාවෙන් මතක් කරනවා. ඊළඟ දේශනාව ආරම්භයේදී අපි ඔබට සඳහන් කරනවා පින්වත්නි, මේ බුද්ධ ශාසනයේ නිවන් දැකපු අයට පෙර පින නිසා ඒ නිවන් දකින්නට අවශ්‍ය දේවල් ලැබිච්ච ආකාරය, ඒ දේවල් අපිට ලැබිලද තියෙන්නේ කියලා හඳුනාගන්න ඕනේ.
ආන්න එතනින් අපි ඊළඟ දේශනාව ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් මේ දේශනාව මෙතෙකින් අපි අවසාන කරනවා. එහෙනම් මේ පින්වත් හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණය කළ උදාර උතුම් පින උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම හේතු වේවා! වාසනා වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා.